අපි පැරදුනේ එක මැතිවරණයක් විතරයි. ඒ මැතිවරණයේ පරාජය කියන්නේ අලුත් ගමනක ආරම්භයක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවැසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගෑස් සිලින්ඩරය ලකුණින් මෙවර මහ මැතිවරණයට තරග කරන කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ගලෙන්බිඳුණුවැවදී පැවති ජන හමුවකදීය.
මෙම ජන හමුව ගෑස් සිලින්ඩරය ලකුණින් මෙවර මැතිවරණයට තරග කරන නාමල් විජේවර්ධන මහතා විසින් සංවිධානය කර තිබූ අතර, එම ජන හමුවේදී ගෑස් සිලින්ඩරය ලකුණින් මෙවර මැතිවරණයට තරග කරන නීතිඥ මහේෂ් කොටුවැල්ල, සරත් වීරසිංහ, ඩේරියස් ද සාකෝ, අබේසිංහ යන මහත්වරුන්ද අදහස් දැක්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා,
මැතිවරණයකදී ජය පරාජය කියන එක සාමාන්‍යය දෙයක්, නමුත් අපි පක්ෂයක් විදිහට, කණ්ඩායමක් විදිහට නැවතත් අපි ශක්තිමත්ව නැගිටින්න එකතු වෙලා තියෙනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි ජනාධිපතිවරණයට තරග කළා වගේම අපි සියලු දෙනාම එකට එකතු වෙලා පරණ පුරුදු ගෑස් සිලින්ඩරය ලකුණින්ම තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ, මේ ගෑස් සිලින්ඩරයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන පක්ෂ සියල්ලම එකට එකතු වෙලා තියෙනවා. කොළඹ ගත්තාම ඊට වඩා වැඩි පක්ෂත් එකතු වෙලා තියෙනවා. අපි මැතිවරණයට ඉතාමත් හොඳ අපේක්ෂක කණ්ඩායමක් යොදලා තියෙනවා. සමහරු නම් හොඳයි කියලා කියනවා වෘත්තිකයෝ වැඩි වුණාම. හැබැයි දේශපාලනය කරන්න ඕන දේශපාලනය දන්න කියන කට්ටිය. අපේ ඉන්න සියලු අපේක්ෂකයෝ ටික සියලු දෙනාම දේශපාලනඥයෝ. ඉන්න තැන දන්න, හම්බවෙන්න පුළුවන්, පහුගිය කාලය පුරාවටම තමන්ගේ දේශපාලන ඉතිහාසය ගැන කතා කළොත්, මේ ප්‍රදේශයේ අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට වැඩක් කරපු කට්ටිය තමයි අපේ අපේක්ෂකයෝ විදිහට අපි දාලා ඉන්නේ. මොකද අවුරුදු 76ක්ම අපි කරලා තියෙන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයට එහා ගියපු පුද්ගල බද්ධ දේශපාලනය තමයි අපි කරලා තියෙන්නේ. ඒ නිසා තමයි කවුරු කොහොම කිව්වත්, අවුරුදු 75ක් තුළ මොනවද කළේ කියලා පහුගිය මැතිවරණයේ අහන කොට අපේ අයත් ඔළුව හොල්ල හොල්ල හිටියාට, 75කට ඕන නෑ, මීට අවුරුදු 10කට කලින් හොරොව්පතාන ආසනය මෙහෙමද තිබ්බේ කියලා ඔබතුමාලා ඔබතුමන්ලාගේ පපුවට තට්ටු කරලා ඇහුවොත්, අවුරුදු 10කට කලින් ඔබතුමන්ලාගේ ගම කොහොමද තිබුණේ කියලා ඔබතුමන්ලා මතක් කර ගත්තොත් පහුගිය මැතිවරණයේ කවුරු කොහොම කිව්වත් ඒ සියලුම සංවර්ධනය කරලා තියෙන්නේ ඒ දේශපාලනඥයෝ ටික, මේ ආණ්ඩු කරපු කණ්ඩායම ප්‍රතිපත්තිමය දේශපාලනය කරනවා වගේම, ප්‍රතිපත්තියෙන් එහාට ගිහිල්ලා පුද්ගලික දේශපාලනයක්, මනුෂ්‍යයොත් එක්ක දේශපාලනයක් කරපු නිසා තමයි මේ සංවර්ධනය ගමට ලැබිලා තියෙන්නේ.
ඔබතුමන්ලාගේ ගමේ කෙනාට රැකියාවක් ලැබුණේ ඒ පුද්ගල බද්ධ දේශපාලනය නිසා, රැකියාව ලැබුණා වගේම ස්ථාන මාරුව ගන්න උදව්වක් ලැබුණේ ඒ පුද්ගල බද්ධ දේශපාලනය නිසා, ඒ වගේම පාසල, රෝහල දියුණු වුණේ, ගමේ පන්සලේ හාමුදුරුවෝ ඇවිල්ලා දායක සභාවත් එක්ක කියන කොට අනේ මහත්තයෝ බුදු මැදුර හදා ගන්න උදව් කරන්න කියලා කියන කොට, ආවාසේ කැඩිලා කියලා කියන කොට ඒවාට උදව් කළේ ප්‍රතිපත්තියට එහා ගිහිල්ලා පුද්ගලික බද්ධ දේශපාලනය අපි පහුගිය කාලයේ කරපු නිසායි.