එක්සත් ජාතික පක්ෂය හා තවත් ප්‍රධාන පක්ෂ ගණනාවක් සන්ධානගත වී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ලෙස මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන බවත් එහිදී ලබන ජන වරමේ ඉදිරි දේශපාලන කටයුතුවලට ශක්තිමත් දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් එජාපයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයේ, ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග වදින අපේක්ෂකයන් සමඟ ගාල්ල, උලුවිටිකේ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති විශේෂ හමුවෙන් අනතුරුවය.
එහිදී වැඩිදුරටත් වජිර අබේවර්ධන මහතා මෙසේද පැවසීය.
ඉදිරි පාර්ලිමේන්තු මහමැතිවරණ ව්‍යපාරය ගාල්ල දිස්ත්‍රික්කයේ මෙහෙයවන්නේ කෙසේද යන කාරණය ගැන අද අප සාකච්ඡා කළා. මේ මස 19 වැනිදා එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කළ සියලු සංවිධාන අප කැඳවා මේ මැතිවරණයට මුහුණදිය යුතු ආකාරය සහ ගාල්ල දිස්ත්‍රික්කයේ සිලින්ඩරය ලකුණ යටතේ තරග වදින සියලු අපේක්ෂකයන් හඳුන්වාදීමටත් අප කටයුතු කරනවා. ඒ අනුව සියලු පක්ෂ සමඟ ඒකාබද්ධ වී තරග කරන මේ මැතිවරණයේදී විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වේ යැයි යන උපකල්පනය මත, ඒ වගේම පසුගිය විපක්ෂය විසින් ඔවුන්ගේ කාර්යභාරය හරිහැටි ඉටු කර නැති වාතාවරණයක විපක්ෂයේ කාර්යභාරය එක්සත් ජාතික පක්ෂය විසින් අනාගතයේදී හසුරවන්නේ කෙසේද යන අභියෝගය අපට පැවරී තිබෙනවා. ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරි කාලයේ පෙළගැස්වීමේ කටයුතු අප දැනටමත් ආරම්භ කර තිබෙනවා.ඒ වගේම ආණ්ඩුවේ ඉදිරි ගමන් මඟ පිළිබඳවත් විවිධ පාර්ශ්වයන් විවිධ මත ඉදිරිපත් කර තිබෙනවා අපට දකින්න පුළුවන්. නමුත් ඒ ගැන තවම අපට නිසියාකාරව කියන්න හැකියාවක් නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වෙලා පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනත, අය වැය කාර්යාලය, දූෂණ විරෝධී පනත, කාන්තාවන් සවිබලගැන්වීමේ පනත, ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කර නැවත ගෙවීමේ පනත යන මේ පනත් සියල්ලම අපට පෙනෙන විදිහට වර්තමාන ජනාධිපති ඉදිරියට ගෙනයමින් තිබෙනවා. ඒ නිසා අපට දැන්ම ඒ සම්බන්ධයෙන් යම්කිසි නිගමනයකට එන්න හැකියාවක් නැහැ.