සමස්ත ලංකා පුවත් පත් අලෙවි නියෝජිතයින්ගේ විශේෂ හමුවක් එහි කැඳවුම්කරු ගාල්ල නියෝජිත චන්දන මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී පැවැත්විණි.
එහිදී ඒ මහතා කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ ගුවන් විදුලියේත් රූපවාහිනියේත් දිනපතා උදෑසන පුවත්පත්වල පළවන ප්‍රවෘත්ති විකාශය කිරීම නිසා පුවත්පත් අලෙවිය පහත බැස ඇති බවය. එනිසා සියලු දෙනා එකතුවී මේ සම්බන්ධයෙන් රජයට කරුණු ඉදිරිපත් කොට පියවරක් ගත යුතු බවය. මහනුවර, මුල්ගම්පල අලෙවි නියෝජිත ලලිත් විමලගුණරත්න මහතා මෙසේ පැවැසීය. දැන් රූපවාහිනියෙන් පමණක් නොව දුරකතනයෙනුත් පත්තර බලන්න පුළුවනි. මේ නිසා පත්තර අලෙවිය අඩුවෙලා. එනිසා පුවත්පත් ආයතනත් මෙයට මැදිහත් විය යුතුයි. මේ සම්බන්ධයෙන් අප සංගමයක් හැටියට ක්‍රියා මාර්ගයක් ගත යුතුයි.
බදුරලිය අලෙවි නියෝජිත ඒ.ඩී.ජී.ඩබ්ලිව්. විජේතුංග මහතා කියා සිටියේ කලින් අපි බයිසිකල්වලින් පත්තර බෙදා හැරියා. දැන් පත්තර බයිසිකලේ ගෙදරට යනකොට ගෙදර අය රූපවාහිනිය ඉස්සරහ වාඩි වෙලා පත්තර බලනවා. මේක පත්තර අලෙවියට දැඩිලෙස බලපානවා. එනිසා මේ සම්බන්ධයෙන් ඉක්මන් පියවර ගත යුතු බවයි.
හික්කඩුව අලෙවි නියෝජිත ආර්.ඩී. ගාල්ලගේ මහතා මෙයට වසර ගණනාවකට පෙර මගේ තාත්තා තමයි හික්කඩුව පුවත් පත් අලෙවි නියෝජිත ලෙස කටයුතු කළේ. තාත්තාගෙන් පසුව මම කරගෙන යනවා. නමුත් රූපවාහිනියේ මුල් පිටුව නිසා පත්තර අලෙවිය පහත බැහැලා. මේ මුල් පිටුව පටන් ගත්තේ බන්දුල පද්මකුමාර මහතායි. එතුමා කියෙව්වේ මුල් පිටුවේ ශිර්ෂ පාඨ විතරයි. දැන් ඇතුළු පිටුත් කියවනවා. ඉතින් මිනිස්සු සල්ලි දීල පත්තර ගන්නේ මොකටද. මුල් පිටුවේ හරි ඇතුළු පිටුවක හරි සිරස්තල කියවනවා නම් කමක් නැහැ. සිරස්තල කිව්වම ඒ ප්‍රවෘත්තිය පිළිබඳව වැඩි විස්තර දැන ගන්න අවශ්‍ය කෙනෙකුට පත්තර ගන්න පුළුවනි. නමුත් ඇතුළු පිටුවල තියෙන සාමාන්‍ය ප්‍රවෘත්ති පවා රූපවාහිනියේ පෙන්ව පෙන්වා කියවනවා. ඉතිං මිනිස්සු පත්තර ගනීවිද?
ගාල්ල අලෙවි නියෝජිත චන්දන මුණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ අප මෙහිදී ගන්නා ලද තීරණ ආණ්ඩුවටත් ජනමාධ්‍ය අමාත්‍යවරයාටත් ඉදිරිපත් කරනවා. පත්තරවල මුල් පිටුව කියල මුළු පත්තරේම කියවනවා. ඉතිං ඉස්සර සල්ලි දීලා පත්තර ගත්ත ජනතාව දැන් සල්ලි දීලා පත්තර ගන්නේ නැහැ. මේ නිසා පත්තර අලෙවිය පහත බැහැලා. පත්තරවල සිරස්තල පමණක් කියවනවට අපේ විරුද්ධත්වයක් නැහැ. එතකොට ඒක අහන ජනතාවට සමහරවිට කුතුහලයක් ඇති වෙනවා. එතකොට ඇවිල්ල පත්තරයක් ගන්න පුළුවනි. ඒත් මුළු පත්තරේම නිකං බලන්න පුළුවන්කම තියෙන කොට සල්ලි දීලා ගන්නේ මොකටද කියලා හිතනවා.
එනිසා අලුත් ආණ්ඩුවෙන්ද ජනමාධ්‍ය ඇමැතිතුමාගෙන්ද මෙයට සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කිරීමට අප සංගමය ඉදිරි දිනයක ජනාධිපතිතුමත් ජනමාධ්‍ය ඇමැතිතුමත් හමුවීමටද බලාපොරෙත්තු වෙනවා.
මෙහිදී සමස්ත ලංකා පුවත්පත් අලෙවි නියෝජිතයින් සුරැකීමේ සංවිධානය නමින් නව සංගමයක්ද පිහිටුවා ගන්නා ලද අතර එහි නිලධාරි මණ්ඩලය මෙසේය. සභාපති – ගාල්ල අලෙවි නියෝජිත චන්දන මුණසිංහ, ලේකම් – බණ්ඩාරගම අලෙවි නියෝජිත ජී.කේ.එස්.පී. බණ්ඩාර, භාණ්ඩාගාරික – හික්කඩුව අලෙවි නියෝජිත ආර්.ඩී. ගාල්ලගේ, ජාතික සංවිධායක – මහනුවර අලෙවි නියෝජිත එල්.එන්. විමලගුණරත්න. මෙයට අමතරව දස දෙනකුගෙන් යුත් කාරක සභාවක්ද පත් කර ගන්නා ලදි. සභාපතිවරයාගේ 0777327504 ජංගම දුරකතනයට කතාකර සියලුම පුවත්පත් අලෙවි නියෝජිතයින්ට මෙයට සම්බන්ධ වන ලෙසටත් කාරක සභාව ඉල්ලා සිටී.