අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ මිතුරන් පිරිසකට, තලවතුගොඩ ප්‍රදේශයේ ආපණශාලාවකදී පහර දුන් බව කියන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා තල්දූව මහත්මිය පෙරේදා (15) තලංගම පොලිසියට නියෝග කළා ය. මෙලෙස පහර කෑමට ලක් වූ නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සහ ඔහුගේ මිතුරන් තලවතුගොඩ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ආපනශාලාවක ආහාර ගනිමින් සිටියදී, එහි පැමිණි පුද්ගලයන් නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයෙහි කටයුතු කළ සමයෙහි සිටි සමකාලීන දේශපාලන මණ්ඩල සාමාජිකයකු ඇතුළු පුද්ගලයන් පහකට ආසන්න පිරිසක් පැමිණ පහර දී ඇති බව නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා විසින් කරනු ලැබූ පැමිණිල්ලේ සඳහන් යැයි පවසමින් තලංගම පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.
පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන දසුන් සිල්වා සහ සජිත් ගුණසේකර යන නීතිඥයන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස කීය.
‘මෙම පහරදීම සිදුවෙලා දැනට පැය 48ක් වෙනවා. තලංගම පොලිසිය සිද්ධිය වී පැය 48කට පසුව තමයි අධිකරණයට කරුණු වාර්තා කරන්නේ. පොලිසියේ ක්‍රියාකලාපය ගැනත් අපිට සැක සහිතයි. මේක රාජ්‍ය බලය යොදවාගෙන සිදු කරන කටයුත්තක්. අපගේ සේවාදායකයා, පහරකෑමට ලක්වූ නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙක්. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු විදිහට කටයුතු කළා.
පහර දෙන්න ආපු අය උඹ ජනතා විමුක්ති පෙරමුණ පාවා දුන්නා නේද? පාවලා දීලා ගිහින් පෙරටුගාමී සංවිධානය සමඟ එක් වෙලා වැඩ කළා නේදැයි අසමින් පහර දීලා තියෙනවා. අදාළ පහරදීමට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ නම් කර තිබෙනවා. එම ආපනශාලාවේ ආරක්ෂිත කැමරා දර්ශන තිබෙනවා. ඒ නිසා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.’
පහර කෑමට ලක්වූ නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සහ ඔහුගේ මිතුරන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ බවත්, මේ වන විට නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රතිකාර ගෙන රෝහලෙන් පිටව ඇතිමුත් ඔහුගේ බිරිය තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මෙහිදී නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ කරුණු දක්වන ලදි.