Thursday, May 8, 2025
Home » මම කිසි දෙයක් හඹා යන්නේ නෑ

මම කිසි දෙයක් හඹා යන්නේ නෑ

-ප්‍රවීණ නළු, චිත්‍රපට අධ්‍යක්ෂ, දම්මිත් ෆොන්සේකා

by sachintha
October 18, 2024 2:03 am 0 comment

ඔබ අධ්‍යක්ෂවරයෙක් විදියට සිනමාවට පා තබන පළමු අවස්ථාව මෙයයි. හිතෙන්නේ මොනවාද ?

මට අධ්‍යක්ෂණය නුහුරු දෙයක් නෙවෙයි. වරින් වර මම රඟපා තිබූ චිත්‍රපටිවල අධ්‍යක්ෂණ කාර්යයත් කළා. මම කාලයක් තිස්සේ කැමැත්තෙන් හිටපු දෙයක් තමයි චිත්‍රපට අධ්‍යක්ෂණය. ඒ වගේම මම කාලයක් තිස්සේ මේක ඔළුවේ තියාගෙන හිටපු දෙයක්. චිත්‍රපට සංරක්ෂණය වගේ වැඩ කටයුතුවල නිරත වෙලා ඉන්නකොට, අලුත් වැඩක් කරන්න ඕනේ කියන සිතුවිල්ලත් මට ආවා.

ඔබ බොහෝ කලක් සිනමාවෙන් ඈත්ව සිටියා..? එහෙමද?

ඒ මෙහි ගැඹුර දන්න නිසයි. එක අතකට නිහඬවම හිටියෙත් නෑ. ප්‍රවේසමෙන් වැඩ කළා.1978 දී තමයි මම පළමුවෙන්ම රඟපෑවේ. 1980 තමයි ඒ චිත්‍රපටය පෙන්නුවේ. ඇත්තටම ලොකු කාලයක්. හැබැයි මම රඟපාපු කාලේ ඒ කොටස ඉතාම ගැඹුරින් සහ අවබෝධයෙන් කළා.

චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන්න ඕන කියලා මීට කලින් හිතුණේ නැද්ද ?

මට වයස අවුරුදු 21දී මම චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන්න උත්සාහ කළා. නමුත් ඒ වෙලාවේ මගේ මව ඊට හරස් වුණා. ඇත්තටම ඒක වැරදි දේකුත් නෙවෙයි. මොකද එයා හිතුවේ ඒ කාලෙදි මම ඒ දේ කළා නම්, ලොකු පාඩුවක් විඳීවි. ඒ විතරක් නෙවෙයි ජීවිතයටත් ඒක ලොකු බලපෑමක් වෙයි කියලා එයා කල්පනා කරන්න ඇති. ඒක වැරදි දෙයක් කියලා මං හිතන්නෙත් නෑ. ඒ වගේම යෙදෙන්නත් එපැයි.

මේ නිර්මාණයට මම යොමුවුණේ බන්දු සමරසිංහ කියන අපේ පවුලේ හිතවතා නිසයි. මෙහිදී මම මුලින්ම යොමු වුණේ නිෂ්පාදන කාර්යයටයි. කතාබහේදී මගෙන් ඊට තියෙන දායකත්වය අනුව, බන්දු මහත්මයාම යෝජනා කළා ඔයා අධ්‍යක්ෂණ කාර්යයත් කරන්න කියලා. පසුව සාකච්ඡා අවසානයේදීයි තීරණය කළේ මෙය කරනවා කියලා.

දිගු කාලයක් ඔබ සිනමාවෙන් දකින්න වුණේ නෑ. ඒ ඇයි ?

මට ගැළපෙන සහ සුදුසු චරිතයක් ලැබෙන්න ඕනේ. අනෙත් කාරණය මම කැමති අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්නත් ඕනේ. තෝරා ගැනීමේ වැරැද්දෙන් වැරදි අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරලා මට ලොකු ගැටලුවකුත් පහුගිය කාලේ ඇති වුණා. ඒ නිසා මට ලැබෙන ආරාධනා මම ඉතා ප්‍රවේශමෙනුයි තෝරා ගන්නේ. ඒ වගේම මට හිතට දැනුණ එකක් විතරයි මම කරන්නෙත්. 2014 පරාක්‍රම ජයසිංහ කළ ‘කේසරා’ චිත්‍රපටයෙන් මට ලැබුණේ ගරු රඟපෑමක් මිනිත්තු හතක. ඒකට මට සම්මානයකුත් ලැබුණා. මගේ තාත්තා කළ, ‘නොමියෙන මිනිස්සු’, ’එකදා වැහි’ මම ආසාවෙන් කළ චිත්‍රපට. ‘එකදා වැහි’ වලට මට සම්මානයක් ලැබුණා.

මම හඹා යෑම අඩුයි. නමුත් මට හැඟුණොත් ඒක හොඳයි කියලා මම ඒක කරනවා. චිත්‍රපට කර්මාන්තයේ නියැළීම වෘත්තීය කරගෙන යන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා අනිත් දෙවලුත් ඊට අමතරව කරගෙන යනවා. රඟපෑමේදී විවේකයක්, වයසක් නෑ.

 

නිහඬ කාලය තුළ ඔබ කළේ කුමක්ද ?

රට තුළත් ඉන් පිටත්, මම හොඳට ඇවිද්දා. චිත්‍රපටි කාර්යයේ සෘජුවම නියැළිලා නොසිටියාට ඒ ගැන හොයන්න, ඒ හා සම්බන්ධ විශේෂ උත්සවවලට සහභාගි වීම, චිත්‍රපටි සංරක්ෂණය, බෙදාහැරීම් කටයුතු හදන්න, සිනමාව වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීරණ ගත්තා. ඒ වගේම චිත්‍රපට සංස්ථාවට සම්බන්ධ වී වසර 2ක් රාජකාරි කටයුතුත් සිදු කළා. ඒ වගේම ලේඛනාගාරයත් එක්ක එකතුවෙලා වැඩ කොටසක් කළා. පැරණි චිත්‍රපට සංරක්ෂණය කරන්න කටයුතු කළා. ජාතික ලේඛනාගාරයයි, චිත්‍රපට සංස්ථාවයි දන්නවා මම මේ කාලයෙ කළ වැඩ කොටස ගැන. මේ ආකාරයට දැනුම බෙදා හදාගෙන ඒ කාලය ගත කළා.

මම කාලයක් නිහඬව හිටියා කියලා එළියට පෙනුණාට මම යටින් වැඩ කොටසක් සිදු කළා.

බෆලෝ ට්‍රැවල්. අමුතු නමක්. ඔබ මෙහි රංගනයෙන් දායක වෙනවාද ?

ඔව්. සුළු චරිතයක් කරනවා. අධ්‍යක්ෂණය කරන අතරතුර රඟපාන්න ගියොත් පැටලෙනවානේ. එතකොට අධ්‍යක්ෂවරයා නළුවා හසුරුවනවා වෙනුවට, නළුවා අධ්‍යක්ෂකවරයා හසුරුවාවි.

ඉදිරියේදී ඔබව අපට දකින්න ලැබෙන්නේ නළුවෙක් විදියට ද? අධ්‍යක්ෂවරයෙක් විදියට ද?

නළුවා හැමදාමත් ඉදිරියේදී කොහේ හරි ඉඳීවි. සාර්ථකත්වය අනුව ලබන වසර මම සැලසුම් කරලා තියෙනවා. ඒක තනියෙන් කරන්නේ නෑ. ලොකු ප්ලෑන් එකක්, වියදමක් සහිතව දැවැන්ත නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මාත් එක්ක අවබෝධයෙන් වැඩ කළ හැකි සම නිෂ්පාදකවරයෙක් මම මේ දවස්වල හොයනවා. මෙහි දළ අදහස අනුව යම් මට්ටමකට එය කරලා තියෙනවා. මේක කොහොම හරි කරන්න පුළුවන් කියන විශ්වාසයත් මට තියෙනවා.

ඔබේ පියාගේ හීනය වෙලා තිබුණේ ඔබ කවරෙකු වෙනවා දකින්න ද?

තාත්තා මට කිසි දෙයකට බලපෑම් කළේ නෑ. මට විතරක් නෙවෙයි, අපි කාටවත් එහෙම කළෙත් නෑ. තාත්තා හැම වෙලාවෙම කිව්වේ හොඳ මනුස්සයෙක් වෙයන් කියලයි. මම රඟපාන්න පටන් ගන්නකොට තාත්තා නියෝජ්‍ය කථානායක. මම ඉස්සෙල්ලාම කැමරාවක් ඉදිරියේ හිටගත්තාම, කැමරාව ඔන් කළේ එයා. මම දැක්කා එයාගේ ඇහේ කඳුළක්. සතුටට එයාට කඳුළක් ඇවිල්ලා. මම රඟපානවාට එයා සතුටු වුණා. එක දෙයක්ම විතරක් කරන්න කියලා එයා කිව්වේ නෑ. වැඩක් නැත්තම් ගිහිල්ලා කුඹුරක් කොටන්න කිව්වා.

බෆලෝ ට්‍රැවල් නිෂ්පාදන කණ්ඩායම මතක් කරමු?

මහේන්ද්‍ර පෙරේරා, බන්දු සමරසිංහ, වීනා ජයකොඩි, රොනී ලිච්, දිල්රුක්ෂි වීරපෙරුම මේ සියලු දෙනා මතක් කළ යුතුයි. මේ අයගේ උපරිම දායකත්වය සහ සහයෝගය මට ලැබුණා. සමහර අය මගේ තාත්තා එක්ක වැඩ කළ අය. ඒ අය අපේ වැඩ කිරීමේ කලාව දන්නවා. ඒ අනුව කාර්මික ශිල්පීන්ගේ පටන් සියලු දෙනාම මට සහයෝගය උපරිමයෙන්ම ලබා දුන්නා.

‘බෆලෝ ට්‍රැවල්’ කැමරා අධ්‍යක්ෂණය රාජා සයඩි. සංස්කරණය අජිත් රාමනායක, ශබ්ද පරිපාලනය ශෂික රුවන් මාරසිංහ, වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර, කලා අධ්‍යක්ෂණය සුනෙත් නන්දලාල්, වේශ නිරූපණය ඩී. ජයතිස්ස. මෙහි කතාව රාජ් රණසිංහගෙ. සංගීතයට නිසල් ගංගොඩගේ දායකත්වය ලබා දුන්නා.

මේ නිර්මාණය අපි කළේ 2018. දවස් තිහක වැඩක්. පසුගිය ගත කරපු කාලය එක් පැත්තකින් කොවිඩ්. ඒ වගේම මම චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේත් හිටියා. ඒ නිසා මගේ ප්‍රතිපත්තිමය හේතුවක් හින්දා පරක්කු කළා. වෙලාව වෙනකම් හිටියා. එහෙම කරලා තමයි දැන් මේක තිරගත කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ.

බෆලෝ ට්‍රැවල් කියන්නේ කුතුහලය දනවන චිත්‍රපටියක්. සිනමාවේ කුතුහලය කියන්නේ අංක එක. ඒක අපි නරඹන්නන්ට ඉතිරි කරමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT