Home » පොලිස්පතිවරයකු නොසිටි ජනපතිවරණයේ ප්‍රචණ්ඩත්වයත් අවමයි

පොලිස්පතිවරයකු නොසිටි ජනපතිවරණයේ ප්‍රචණ්ඩත්වයත් අවමයි

-පැෆ්රල් සංවිධානයේ ජාතික සම්බන්ධිකාරක සුජීව ගයානාත්

by sachintha
October 18, 2024 2:01 am 0 comment

පසුගිය ජනාධිපතිවරණයේදී බරපතළ ලෙස රාජ්‍ය දේපළ අවභාවිත වුවත් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරව පැවති හොඳම මැතිවරණය බවට එය පත් වූ බවත්, පොලිස්පතිවරයකු නැතිව පැවැත්වූ ඉතිහාසයේ පළමු මැතිවරණය වීම නිසා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට හා කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට ස්වාධීනව තීන්දු ගැනීමටත් අවංකව රාජකාරි කිරීමටත් හැකි වීම නිසා ප්‍රචණ්ඩ ක්‍රියා නොතිබුණු බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆ්රල් සංවිධානයේ ජාතික සම්බන්ධිකාරක සුජීව ගයානාත් මහතා පැවසීය. පාර්ලිමේන්තු මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් දිගුකාලීන මැතිවරණ නිරීක්ෂකයන් පුහුණු කිරීමේ දෙවැනි අදියරේ පුහුණු වැඩසටහනේදී ජාතික සම්බන්ධීකාරකවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ පැෆ්රල් සංවිධානයේ ජාතික සම්බන්ධීකාරකවරයා මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් හා මැතිවරණ රාජකාරිවල යෙදෙන මාධ්‍යවේදීන්ට කලින් දින සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සැලසීම සඳහා වන නීති කටයුතු 75% ක් පමණ අවසන් කර තිබෙන බවත්, දැනට ඉතිරිව ඇත්තේ මැතිවරණ කොමිසම විසින් ක්‍රියාත්මක කළ යුතු කොටස පමණක් බවත් කීවේය. ඊට අමතරව ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි ලෙස වෘද්ධව සහ එක්තැන්ව සිටින ඡන්ද දායකයන්ගේ නිවෙස්වලට ගොස් ඡන්දය ගැනීමට ඉඩ ප්‍රස්තාව සැලසෙන අණ පනත් සකස් කර එය ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිසමට භාර දී තිබෙන බවද ඔහු පැවසීය.

උතුරුමැද, වයඹ, මධ්‍යම සහ නැඟෙනහිර පළාත්වල දීර්ඝකාලීන නිරීක්ෂකයන් 50කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වූ මේ වැඩමුළුවේදී මැතිවරණ නිරීක්ෂකයන් සඳහා අත්පොතක්ද හඳුන්වා දෙනු ලැබීය.

ත්‍රිකුණාමලය විශේෂ ඒ.ටී.එම්. ගුණානන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT