“අපි හදපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ඡන්ද හැටලක්ෂය තුන්ලක්ෂයකට අඩු කළේ නාමල් රාජපක්ෂ සහෝදරයා යැයි මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සර්ව ජනබලය කෑගල්ල දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ විසින් කෑගල්ල අඹන්පිටිය ප්‍රදේශයේ හෝටලයකදී පැවැති අපේක්ෂක හා ක්‍රියාකාරීන් හමුවකට එක්වෙමිනි. එහිදී ඒ මහතා මෙසේ ද කීවේය.
‘‘ජනාධිපතිවරණයට වෙනම ඉල්ලන්න එපා කියලා අපිත් කිව්වා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් කිව්වා. ඒත් නාමල් ඇහුවේ නැහැ. අපේ බලාපොරොත්තුව ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කිරීමයි. සාම්ප්‍රදායික දේශපාලනයට අපි යන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව වැටෙන්න හේතුවත් ශක්තිමත් විපක්ෂයක් නොමැතිවීමයි. ශක්තිමත් විපක්ෂයක් කියන්නේ වැඩියෙන් මන්ත්‍රීවරු ඉන්න විපක්ෂයක්. එක ගුණාත්මකභාවයෙන් ශක්තිමත් වෙන්න ඕනේ. පසුගිය කාලයේ අපි දැක්කා සජිත් ප්‍රේමදාස මහතා උදේ නැගිටපු වෙලේ ඉඳන් නහයෙන් අඬනවා. කෙඳිරිගානවා විසඳුමක් නෑ. ආණ්ඩුව කරන හොඳ වැඩෙත් හොඳ නැහැ කියනවා. හැම එකටම කකුලෙන් අදිනවා. සහායක් නැහැ. යුද්දේ දිනපු එකටවත් සහාය වුණේ නැහැ. දැන් ඉන්න ජනතා විමුක්ති පෙරමුණු රජය හරි කමක් නැහැ හොඳ දෙයක් කරනවා නම් අපි සහාය දෙන්න අවශ්‍යයි” යනුවෙන් ද කීවේය.
දයාරත්න බණ්ඩාර – කෑගල්ල දිස්ත්‍රික් සමූහ