ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත ඉදිරිපිටදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්රාත් තරංගා මහාවත්ත මහත්මිය ග්‍රෑන්ඩ්පාස් පොලිසියට පෙරේදා (17) නියෝග කළේය.
ඉකුත් 16 වන දින සවස් කාලයේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර ත්‍රිරෝද රථයක පිටිපස අසුනේ ගමන් කරමින් සිටි පුද්ගලයකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. මියගොස් ඇත්තේ, වයස අවුරුදු 35ක් පමණ වන වයසැති මොහොමඩ් අස්සරි මොහොමඩ් ඉරිෆාස් නමැති මිහිජය සෙවණ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. සැකකරු කාර් රථයකින් පැමිණ ඇති බවත් ,වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවත් දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව පොලිසිය අධිකරණයට දැන්වීය. මෙම සිද්ධියට අදාළව වෙඩිකරුවන් පැමිණි මෝටර් රථය හංවැල්ල ඇඹුල්ගම විහාරස්ථාන භූමියේ අතහැරදමා ගොස් තිබියදී හංවැල්ල පොලිසියට හමුවූ බවද ග්‍රෑන්ඩ්පාස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
මෝටර් රථය වේගයෙන් රැගෙන ආ පුද්ගලයෙකු මෙම පන්සල් භූමියේ මෝටර් රථය දමා ඉන් අඩනතුරුව යතුරු පදයකින් පලා ගොස් ඇති බවට ද විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දීය. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කිරීමට ග්‍රෑන්ඩ්පාස් පොලිසියට නියෝග කළේය.