කළුතර උතුර, වස්කඩුව ප්රදේශයේ මුහුදේ විනෝදයට දියනෑමට ගිය තරුණයෙකු පෙරේදා (17) පස්වරුවේ මුහුදේ ගිලී අතුරුදන්ව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ මොරොන්තුඩුව ප්රදේශයේ හෝටලයක කොත්තු බාස්වරයකු ලෙස සේවය කරන බාග්යවන් සෙල්වනායගම් නමැති 26 හැවිරිදි විවාහකයෙකු බවත්, ඔහු නුවරඑළිය හාවාඑළිය ප්රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය පවසයි.
අතුරුදන් තරුණයා පොහොය දින නිවාඩු දිනයක් බැවින් මිතුරන් සමඟ කුඩා වස්කඩුව මුහුදු වෙරළට පැමිණ දියනෑමට ගොස් ඇති අතර, එක්වරම රළ පහරට හසුව නොපෙනී ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි.
කළුතර උතුර පොලිස් නිලධාරීන් ප්රදේශයේ තරුණයින් සමඟ එක්ව අතුරුදන් තරුණයා සොයා පරීක්ෂා කර ඇතත් සොයාගැනීමට නොහැකිව ඇති බව පොලිසිය පවසයි.
කළුතර උතුර ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්රධානත්වයෙන් විමර්ශන සිදු කරයි.