කොළඹ වරායේ කම්කරු සේවකයකුට පිටකොටුව දෙවැනි හරස් වීදිය ආසන්නයේදී ගෙලට පිහියෙන් ඇන ඝාතනය කර ඇත්තේ වායුසමන අලුත්වැඩියා කරන අයකු බව හෙළි කරගත් පිටකොටුව පොලීසිය එම ඝාතනයෙන් දින 14කට පසු සැකකරු රාගම දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මේ සිද්ධියෙන් ඝාතනයට ලක් වූයේ මහියංගණය ප්‍රදේශයේ පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ කසුන් එරන්ද මහේෂ් රත්නායක නමැති 33 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා ඉකුත් 4 දින මධ්‍යම රාත්‍රියේ මිතුරකු සමඟ මත්පැන් පානය සඳහා වරාය පරිශ්‍රයෙන් පිටතට පැමිණ ඇති අතර, මිතුරා රාත්‍රී 12.30ට පමණ පිට වී ගොස් ඇතැයි පොලිසිය කියයි. පසුදා (5) අලුයම 1.30ට පමණ මියගිය පුද්ගලයා මාර්ගය දිගේ ඇවිදගෙන යමින් සිටියදී මුහුණ ආවරණය කරගෙන කැප් තොප්පියක් පැලඳගෙන පිටුපසින් පැමිණි සැකකරු එකවරම අත දරාගෙන සිටි තියුණු ආයුධයකින් මියගිය අයගේ ගෙල ප්‍රදේශයට ඇන පලා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඒ පුද්ගලයා එලෙස ආයුධයෙන් අනින අයුරු සීසීටීවී කැමරාවකද සටහන්ව තිබුණු අතර, ඒ ඔස්සේ කළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ රාගම දුම්රිය ස්ථානයේ රැඳී සිටියදී බව පොලීසිය කියයි.
මරණකරු හා සැකකරු යන දෙදෙනාම අසම්මත ඇසුරුවලට යොමු වූ පුද්ගලයන් බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකරු එදින පිරිමි පුද්ගලයකු සමඟ එක්ව සිට පිටව යන අතරවාරයේ මත්පැන් පානය කර මාර්ගයේ ඒ මේ අත වැනෙමින් යමින් සිටි පරුෂ වචනයක් දොඩා ඇති අතර, එය තමාට කියූ වචනයකැයි සිතු සැකකරු වායුසමන යන්ත්‍ර අලුත් වැඩියාව සඳහා සකසා තිබූ උල් ආයුධයෙන් එම පුද්ගලයාට ඇන එම ස්ථානයෙන් ගොස් තිබූ බව පොලිසිය කියයි.
වත්තල පදිංචිකරුවකු වන 34 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) ලලිත් සිලෝගම මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති (උ.පො.ප) මිහිරංග බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන පවත්වයි.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ