Home » මහව-අනුරාධපුර කොටසේ වැඩ අවසන් නොවීමෙන් අදත් දුම්රිය ධාවනයට බාධා

මහව-අනුරාධපුර කොටසේ වැඩ අවසන් නොවීමෙන් අදත් දුම්රිය ධාවනයට බාධා

-දුම්රිය වැ/බ සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ

by sachintha
October 21, 2024 1:55 am 0 comment

උතුරු දුම්රිය මාර්ගයේ ගල්ගමුව දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගයේ දුම්රිය වේදිකා තවදුරටත් අලුත්වැඩියා කරමින් පවතින අයුරු…

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා කොටසේ වැඩ අවසන් කිරීම තවදුරටත් ප්‍රමාද වීම හේතුවෙන් මේ මාර්ගයේ අද (21) දිනයේත් දුම්රිය ධාවනය කිරීමට නොහැකි බව දුම්රිය වැඩ බලන සාමාන්‍යාධිකාරී එස්. එස්. මුදලිගේ මහතා ‘දිනමිණ’ට පැවසීය.

උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර මාර්ගය අලුත්වැඩියා කිරීම හේතුවෙන් මාස ගණනාවක් පුරා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කළේ කොළඹ කොටුව සහ මහව හන්දිය දක්වා පමණි. අද සිට දුම්රිය කන්කසන්තුරේ දක්වාම ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබිණි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ දුම්රිය වැඩ බලන සාමාන්‍යාධිකාරිවරයා:

“නව දුම්රිය සංඥා පද්ධතිය සවි කරන තෙක් ස්ථාපිත කරන තාවකාලික දුම්රිය සංඥා සවි කිරීම අවසන් කිරීමට නොහැකි වූ නිසා දුම්රිය ධාවනයට එක් කිරීමට නොහැකි වුණා. බොහෝදුරට මේ සතිය අවසානයේ හෝ එළැඹෙන සතියේ මුල් දින දුම්රිය ධාවනයට එක් කළ හැකියි.

“අද (21) සිට මේ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබුණත් මගීන් ගෙන යෑමට අවශ්‍ය අවම ආරක්ෂාව සපයනතුරු මේ මාර්ගයේ දුම්රිය ධාවනය කළ නොහැකි බව දුම්රිය නියාමකවරුන් සහ රියැදුරන් දුම්රිය දෙපාර්තමේන්තුවට දන්වා තිබුණා.

“මේ මාර්ගය පසුගිය ජනාධිපතිවරණයට පෙර ජනගත කිරීමට පැවැති ආණ්ඩුව සූදානම් වූ අවස්ථාවේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ දැඩි විරෝධය හමුවේ එය හකුළා ගැනීමට දුම්රිය බලධාරීන්ට සිදු වුණා. ඒ අනුව ඉතිරි සංවර්ධන කටයුතු සිදු කර අද දින එම මාර්ගය ජනතා අයිතියට පත් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ අරමුණ වුවත් පෙර පැවැති ගලවා දැමූ දුම්රිය සංඥා පද්ධති නැවත සවි කිරීම සිදු කිරීමට ද මේ වන තෙක් නොහැකිවී තිබෙනවා.

“නවීකරණයට පෙර පැවැති දුම්රිය මාර්ගය පැයට කිලෝමීටර් 60ත් 65ත් අතර ධාවනයට එක් කර තිබුණා. නවීකරණය කළ දුම්රිය මාර්ගය පැයට කිලෝමීටර් 100 වේගයෙන් ධාවනය කිරීම අරමුණවී තිබුණා.

“එහෙත් මේ වන විටත් නවීකරණය කළ මාර්ගයේ එක් දුම්රියක් පමණක් එක් වරකට ධාවනය කිරීමට සිදු වෙනවා. පෙර පැවැති ටැබ්ලට් එක වෙනුවට ප්‍රාථමිකව පැවැති ටෝකන් ක්‍රමයට යෑමට සිදු වීමෙන් මේ ව්‍යාපෘතියේ වටිනාකම සහමුලින්ම විනාශ වෙනවා. ශීඝ්‍රගාමී දුම්රියන් පවා සෑම දුම්රිය ස්ථානයකම නවත්වා ටෝකන් එක ගැනීමට සිදු වන බවට වාර්තා වුණා. මේ අනුව නවීකරණය කළ දුම්රිය මාර්ගයේ අග්‍රඵලය ජනතාවට ළඟා නොවනු ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් අදහස් දක්වමින් පවසනවා.”

සුභාෂිණී සේනානායක

ඡායාරූපය – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT