Sunday, May 11, 2025
Home » 17 වසරක එජාප පාලනය පෙරළන්න කලාකරුවන් පෙළගැසුණ හැටි

17 වසරක එජාප පාලනය පෙරළන්න කලාකරුවන් පෙළගැසුණ හැටි

by sachintha
October 21, 2024 1:27 am 0 comment

නිදහස් කලා සන්ධානය ආරම්භයේදීම ඊට පහර දී කඩාකප්පල් කොට ඔවුන්ගේ ගමනට බාධා කරමින් තර්ජනය කරමින් කටයුතු කළෝ කවුරුන්දැයි කලා සන්ධානය හොඳින් දැන සිටියේ ය. එහෙත් ඒ තර්ජනවලින් දුර්මුඛ නොවූ සන්ධානය දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක හෝ මහජන රැස්වීම් පවත්වා දාහත් වසරක් මෙරට ජනතාව විඳි දුක් පීඩා පිළිබඳ සිහිපත් කොට දී ජනතාව නව පාලනයක් කරා කැඳවිය යුතුය යන අදිටනින් කටයුතු ඇරැඹීය. මෙහෙයුම් මධ්‍යස්ථානය වූයේ කොල්ලුපිටිය බගතලේ පාරේ නිවසක්ය. ආරම්භක රැස්වීම් පිළිබඳ සාකච්ඡා සඳහා සහභාගි වූ පිරිස අතර විවිධ කලා ක්ෂේත්‍ර නියෝජනයක හරස් කඩක් වූ බව මතක ය. ගුවන් විදුලියේ සිටි නිව්ටන් ගුණරත්න, රූපවාහිනී ක්ෂේත්‍රයට සම්බන්ධ නිර්මාණකරුවකු වූ රොහාන් වැලිවිට, මූල්‍ය කටයුතු භාරව පෞද්ගලික මූල්‍ය ආයතනයක කළමණාකරුවකු වූ සත්‍යජිත් විජයපුර, සිනමාවේ ජනප්‍රිය චරිතයක් ව සිටි සනත් ගුණතිලක ආදී පිරිසක් ක්‍රියාකාරීන් අතර විය. සන්ධානයේ සාමාජිකත්වය පුළුල් කරගනිමින් රැස්වීම් මාලාව සඳහා සහභාගි කරගත යුතු පිරිස් පිළිබඳ සාකච්ඡාවක දී එවකට වැඩ තහනමට ලක් ව සිටි රූපවාහිනියේ නිෂ්පාදකවරයකු වූ ලූෂන් බුලත්සිංහල ද අප සන්ධානයට ඇතුළත් විය යුතු චරිතයක් යැයි හැඟුණු බැවින් ඔහු ද ඉදිරි වැඩ කටයුතු සඳහා එක් කරගත යුතු යැයි මම නිව්ටන්ට යෝජනා කළෙමි. මගේ යෝජනාවට එකඟ වූ නිව්ටන් මට පැවසූයේ ‘එහෙනම් බුද්ධිම කතා කරල බලන්න’ කියායි. ඔහුගේ රතු හැට්ටකාරී නාට්‍යයට සම්බන්ධ වීමට පෙර සිටම ලූෂන් ගුවන් විදුලියේ සඳැල්ල ඉදිරිපත් කළ කාලයේ දී ද සුගතපාල ද සිල්වාගේ නාට්‍ය (මුතු කුමාරි, තුරඟ සන්නිය) හා තිලක් ජයරත්නගේ රතැසි උවදුර නාට්‍යයේ අංග රචනා ශිල්පියා ලෙස ද ලූෂන් හා මා අතර වූ මිත්‍රත්වය දෙදරා ගොස් තිබුණේ ඔහුගේ ඉතා ජනප්‍රිය නිෂ්පාදනය වූ තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ නළු නිළියන් විසින් කටුගස්තොට පැවැත්වීමට නියමිත වූ දර්ශනයක් වර්ජනය කළ සිදුවීමක් හේතුවෙනි. එසේ වූවත් මම ලූෂන්ට දුරකතන ඇමතුමක් ගෙන අප සන්ධානය පිළිබඳවත්, ඔහුගේ සහභාගිත්වය අපට වැදගත් වන බවත් පැවසූ පසු ඔහු අප සමග එකතුවන්නට කැමැත්ත පළ කළ බව මම නිව්ටන් ගුණරත්නට කීවෙමි. අප සමග එක් වී කටයුතු කිරීමට අදහස් කොට සිටි සියලුම ක්ෂේත්‍ර නියෝජනය කළ ප්‍රවීණයන් රැසකටම නිව්ටන් හා මම කතා කළෙමු. ආරම්භක රැස්වීමට සහභාගි වූ බොහෝ දෙනෙක් ඒ අතර විය. සුගතපාල ද සිල්වා, රංජිත් ධර්මකීර්ති, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සෝමරත්න බාලසූරිය ආදීහු සන්ධානයේ ඉදිරි වැඩසටහන් සඳහා එක්වීමට කැමත්ත පළ කළහ. එය අප සන්ධානයට ඉමහත් ශක්තියක් වූ බව සටහන් කළ යුතුය.

නිදහස් කලා සන්ධානයේ මංගල මහජන රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී පැවැත්වීමට සන්ධානයේ ක්‍රියාකාරීන් තීරණය කොට තිබිණ. නුගේගොඩ සමරකෝන් එළිමහන් රංග පීඨය මේ රැස්වීමට ඉතාමත් උචිත තැන යයි මට සිතිණ. වසර කීපයකට පෙර 1989 මැද භාගයේ දී පමණ එහි පැවැත්වූ ජනතා විමුක්ති පෙරමුණේ මහ රැලියක් මගේ මතකයට නැඟිණ. එදා තරම් නුගේගොඩ නගරයට ඒකරාශී වූ ජන ගඟක් මම මගේ ජීවිත කාලය පුරා නුගේගොඩ දී දැක නැත්තෙමි. නුගේගොඩ අලුත්පාර බෝගහ හන්දියේ සිට සුපර් මාර්කට්ටුව දක්වා මාර්ගය එකම හිස් ගොඩක් වූ එම ඓතිහාසික රැලිය හැරෙන්නට ඊට තරමක් හෝ ළංවූ ජන ගඟක් දුටුවේ නම් ඊට පසු කලක ජනාධිපති ප්‍රේමදාස මහතාට එරෙහි ව ගෙන ආ දෝෂාභිගියෝගයෙන් පසුව රජයෙන් අස් වූ ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි හා ජී.එම්. ප්‍රේමචන්ද්‍ර ආදීන් සහභාගී වූ විරෝධතා රැලියයි. එම මතකය සමග කලා සන්ධාන රැලියට ජන ගඟක් නුගේගොඩට එක්වනු අතැයි යන්න මගේ මෙන්ම අප සන්ධානයේ සියල්ලන්ගේ ම විශ්වාසය විය. 1994 අගෝස්තු 4 වැනිදා නිදහස් කලා සන්ධානයේ මංගල මහා රැලිය නුගේගොඩ දී පැවැත්වීමට විධිවිධාන සම්පාදනය වී තිබිණ. මේ දිනවල මා රාජකාරි කළ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව පකිස්තානු සමාගමක් වූ තවක්කාල් සමාගමට විකුණා තිබුණු බැවින් මගේ රැකියාව රාජ්‍ය සංස්ථාවක නොවීම මෙම බාහිර දේශපාලන ක්‍රියාකාරකම්වලට සහභාගිවීමට ලැබුණු ආශීර්වාදයක් බඳු විය. රාජ්‍ය සංස්ථාවක නිලධාරියකු ලෙස දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ඉඩක් නොලැබෙනවා පමණක් නොව රාජකාරිය පිළිබඳ ගැටලුවක් වීමට ද ඉඩ තිබිණ. දෙවියන්ට ස්තුති වේවා පෞද්ගලික අංශයේ සමාගමක් වූ බැවින් පාලනාධිකාරියට මා දේශපාලනයෙහි ක්‍රියාකාරීවීම නොපෙනුණා විය යුතුය.

නුගේගොඩ කලා සන්ධාන රැස්වීම පැවැත්වුණේ 1994 අගෝස්තු 4 දා ය. මහා මැතිවරණය පැවැත්වුණේ අගෝස්තු 16 වැනි දා ය. කලා සන්ධානය එකල පැවති රජය විවේචනය කරමින් එතෙක් ඔවුන් විසින් කළ ජනතා විරෝධී ක්‍රියාකලාප පිළිබඳ දැනුම්වත් කරමින් නව රජයක් පිහිටුවා ගැනීමට ඒකරාශී වන ලෙස ඉල්ලා සිටීමට තීරණය කළා මිස පොදුජන එක්සත් පෙරමුණට හෝ පුටුවට ඡන්දය දෙන ලෙස ඉල්ලා නොසිටිය යුතු බවට එකඟතාවක් විය. රැස්වීම පැවැත්වෙන දින උදේවරුවේ නුගේගොඩට පැමිණෙන කල සෝමරත්න දිසානායක, ලාල් කුලරත්න, බණ්ඩාර ඇහැළියගොඩ, කරුණාරත්න දිවුල්ගනේ, රූපා කංකානමගේ ඇතුළු පිරිස වේදිකාව හා අනෙක් සංවිධාන කටයුත්වල නිරත ව සිටියහ. තිලක උයන, සුනිල් ආරියරත්න මිතුරා හමුවීමට ගිය කල මට හමුවූයේ සුදු සරමක් හැඳ බුලත් විටක් හපමින් සිටි පුද්ගලයෙකි. එක් වරම මා ඔහු කරුණාසේන ජයලත් ලෙස හඳුනාගත්ත ද අප මීට පෙර හමු වී නොතිබිණ. එබැවින් සුනිල් මට ඔහු හඳුන්වා දුන්නේ ය. ‘බුද්ධි මේ ජයලත් මහත්තයා ..’ උසස් පෙළ පන්තියේ දී බොළඳ නවකතාවක් ලෙස පේරාදෙණියෙන් පැමිණි අපගේ සිංහල ගුරුවරුන් ගේ අවඥාවට ලක් වූ එහෙත් අප සිත් ගත් ‘ගොළු හදවත’ ලියූ මහා පුරුෂයා හඳුනාගන්නට ලැබීමෙන් අපමණ සතුටක් ලද බව සිහි වේ. කලක සිට දන්නා හඳුනන මිතුරකු ලෙසින් ජයලත් මහත්තයා අප සමග සාමීචියෙහි යෙදුණේය. ‘දැන් කවුද බුද්ධි මුලින්ම කතාව කරන්නෙ ?’ සුනිල් ඇසුවේ ය. වෙන කවුද අපි ජයලත් මහත්තයටම කියමු පටන් ගන්න කියලා. ෆස්ට් ගියර් එකට දාල දුන්නම අනිත් අය ඇදගෙන යයි නේ’ මම කීවෙමි. ජයලත් මහත්තයා සිනාසුණා මිස කිසිවක් කීවේ නැත. සුනිල් ද එය අනුමත කළ සෙයක් මට හැඟිණ. ‘මම ඔෆිස් ගිහිං 3 වෙනකොට එන්නම් සුනිල්’. මා ආපසු කාර්යාලය එන ගමනේ දී මගේ රියදුරු, නන්දසිරි අපූරු කතාවක් මට කීවේ ය. ඔහු දේශපාලනිකව වාමාංශික අදහස් දරන්නෙකි. ‘සර් අද හවස රැස්වීමට නෑවිත් ඉන්න.’ මම මවිතයට පත්වීමි. ‘ඇයි නන්දසිරි එහෙම කිව්වෙ ? ‘ නෑ, සර් සුනිල් මහත්තයගෙ ගෙදර ඉන්න අතරෙ මම නිකම් රවුමක් ගැහුවා …ඒකයි’ ‘අයියෝ නන්දසිරි, ඔහොම බයවෙලා පුලුවන්ය, අපි එමු කන්තෝරු ගිහිං අනිත් පැත්තට ’ මම කීවෙමි. මා සුනිල් සමග සිටින අතරතුර නන්දසිරි රැස්වීම පැවැත්වෙන භූමිය අවට සැරිසරන කල ඇසුණු කතා බහකින් ඒ අවවාදය මට දෙන්නට ඇතැයි සිතුවෙමි. ඔහුගෙ උපදෙස කුමක් වූවත්, කාර්යාලයට ගොස් හවස 3ට පමණ යළි නුගේගොඩට ආවෙමි. කලා සන්ධාන මංගල රැලියෙහි වාර්තාව ඉදිරි දිනක.

බුද්ධදාස ගලප්පත්ති

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT