Sunday, May 11, 2025
Home » දියවන්නාව සුද්ද කිරීමේ මහා මෙහෙයුම නොවැම්බර් 14 සිදු කරනවා

දියවන්නාව සුද්ද කිරීමේ මහා මෙහෙයුම නොවැම්බර් 14 සිදු කරනවා

ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස

by sachintha
October 21, 2024 1:57 am 0 comment

දියවන්නාව සුද්ද කිරීමේ මහා මෙහෙයුම නොවැම්බර් 14 වැනිදා සිදු කෙරෙන බවත්, පසුව පාර්ලිමේන්තුව මාලිමාවේ නියෝජිතයන්ගෙන් පිරී යන බවත් ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක, හිටපු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

හිටපු මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ කළුතර මැතිවරණ කොට්ඨාසයේ කටුකුරුන්ද ,මොරොන්තුඩුව ප්‍රදේශවල පැවැති මැතිවරණ ප්‍රචාරක ජන හමු කිහිපයක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

“ජනතාවගේ ආශීර්වාදයෙන් ජනධිපතිවරයකු පත්වී මාසයක් නෑ. රටේ සෑම කෙනකුටම යම් නිදහසක් දැනෙනවා. ජනතාවගේ බදු මුදල් නාස්ති නොකරන බව ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා. මේ ටිකට දිය හැකි සහන සුළුවෙන් හෝ දී තිබෙනවා. අපට ඡන්දය දුන් නුදුන් සෑම දෙනාටම දැන් සතුටු වෙන්න පුළුවන්. ඉදිරියේදී අපි රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා. ජනතාවට පාලනයේ වෙනස පේන්න පටන් අරන්. ජනතාවගේ බදු මුදල්වලින් සුඛෝපභෝගී ජීවිත ගත කළ, වාහන පෙළපාළි ගිය ජනපතිවරුන්ගේ මැති ඇමැතිවරුන්ගේ සංදර්ශන මින් ඉදිරියට අහෝසි වෙනවා. රනිල් කෝකියන් 16කුත් ආරක්ෂකයන් සිය ගණනකුත් ඉල්ලලා තියෙනවා. ජනතාවගේ බදු මුදල් හොරා කාපු අයට එරෙහිව නුදුරු අනාගතයේදීම නීතිය ක්‍රියාත්මක වෙනවා.

මිනිස්සු බාර් එකෙන් අරක්කු බීලා වැට් බදු ගෙවලා ඉවරයි. අරක්කු කොම්පැනිකාරයන් ඒ බදු රජයට ගෙවලා නෑ. දැන් ඒ අයට වෙච්ච දේ දැක්කනෙ. ඔය පටන් ගත්තා විතරයි. පසුගිය කාලයේ අතරමඟ නතර කළ විදෙස් ව්‍යාපෘති යළි ආරම්භ කොට තිබෙනවා. ජපන් රජය ගුවන් තොටුපොළ ව්‍යාපෘතිය සහ දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඊළඟ වසරේ සංචාරකයන් ලක්ෂ 40ක් රටට ගෙන ඒමේ සැලැස්මක් අපට තිබෙනවා. මේ කටයුතු සඳහා ශක්තිමත් ආණ්ඩුවක් හදා ගත යුතුයි. ඒ සඳහා දායකත්වය දෙන ලෙස ඉල්ලනවා.”

මෙහිදී ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයන් වන නන්දන පද්මකුමාර සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් නිශ්ශංක විජේසිංහ මහත්වරු ද අදහස් දැක්වූහ.

කළුතර මධ්‍යම සමූහ

සුනිල් ස්ටැන්ලි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT