Home » කෘෂි කර්මාන්තයෙන් ආර්ථිකයට ඉහළ දායකත්වයක් දිය හැකියි

කෘෂි කර්මාන්තයෙන් ආර්ථිකයට ඉහළ දායකත්වයක් දිය හැකියි

-Saviru Spices & Naturals (Pvt) Ltd හි විධායක අධ්‍යක්ෂිකා ශ්‍රියා වීරසිංහ

by sachintha
October 22, 2024 1:35 am 0 comment

Saviru යනු සියල්ල ලබාදෙන හිරුයි. Amayuu යනු නීරෝගිකම වැඩිකර ආයුෂ වර්ධනය කරන යන අරුතයි.ශ්‍රී ලංකීය ආහාර වෙළෙඳපොළට Saviru සහ විදෙස් වෙළෙඳපොළට Amayuu නමින් නිෂ්පාදන ඉදිරිපත් කරන Saviru Spices & Naturals (Pvt) Ltd හි විධායක අධ්‍යක්ෂිකා ශ්‍රියා වීරසිංහගේ කතාව මෙරට ආර්ථිකයේ සුවිශේෂී හිදැසක් ආවරණය කරගැනීම සඳහා වන ආදර්ශයකි. මේ ඇයගේ කතාවේ සංෂිප්තයකි.

“හරිහමන් තාප්පයක් නැතත් කමිබි වැටකින් වටවූ පාසැල් වත්ත ගමෙන් වෙන්වුණේ සොඳුරු දොළ පාරකින්. දොළ අයිනේ ඉන්දවූ කොහිල යායේ සිට අල, පලා, සේම ක්‍රමවත්ව සකසා තීබූ මැසි මතින් එල්ලෙන පතෝල කරල් මෙන්ම සරුවට හැදුණු වැටකොළු කරල් බිමට බරවී තිබුණේ. වෙසක් සැණකෙළියක එල්ලෙන බල්බ් වැල් මෙනි.

මගේ ළමා කාලයේ ගෙවුණේ රුසියානු ළමා කතාවල කියැවෙන ආකාරයේ සොඳුරු කඳුකර උයන්වත්තක් වැනි පාසල් වටපිටාවක. මාතලේ උකුවෙලට සමීප කලල්පිටිය අපේ ගම. එහි ප්‍රාථමික පාසල මගේ කුඩා හිතට අපූර්වත්වයක් එක්කළ තැනක්. කඳු අතර පිහිටි සාම්ප්‍රදායික ගොවිතැන් කළ ගම්මානය මැද තිබුණු පාසල ආදර්ශ වගාබිමක්. එකල එහි කෘෂිකර්ම විෂය භාරව කටයුතු කළේ ඊ.එම්. ප්‍රේමදාස ගුරුතුමා. කෘෂිකර්මයත් බෞද්ධ දර්ශනයත් එක්කොට ගොවිතැන පිළිබඳව අපූරු දැක්මකින් යුතුවයි එතුමා කටයුතු කළේ. පරිසරය රකිමින් කෘෂි කර්මාන්තයේ යෙදෙන ආකාරය එතුමා අපේ පාසල් ගෙවත්ත කළමනාකරණය කිරීමේ සැලසුම තුළින් ඉගෙන ගැනීමට අපට අවස්ථාවක් සලසා දී තිබුණා. පොළොවෙන් නිර්ලෝභීව ලබාදෙන දේ ඒ නියම ප්‍රමිතියෙන් යුතුව මෙරට හා විදෙස් පාරිභෝගිකයන් වෙත ලබා දී ඉහළ ප්‍රමිතියකින් යුතුව කෘෂිකාර්මික නිෂ්පාදන ලබාදීමේ ව්‍යාපාරයක් ඇරඹීම සඳහා මා තුළ වූ සිහිනයේ මුල බීජය රෝපණය වූයේ කුඩා අවදියේදීමයි.”

Saviru Spices & Naturals (Pvt) Ltd හි විධායක අධ්‍යක්ෂිකා ශ්‍රියා වීරසිංහ ව්‍යවසායිකාවකට අමතරව වෘත්තියෙන් ඉංජිනේරුවරියකි. එපමණක් නොව තම ඉංජිනේරුමය ඥානය හා පරිචය හා දේශීයත්වය ඉහළට එසැවීමට රුචි ජීවන දැක්ම කර්මාන්තයක් ගොඩනැඟීම වෙනුවෙන් ප්‍රායෝගිකව යෙදවූ උද්‍යෝගිමත් කාන්තාවකි. කෘෂිකාර්මික රටක් යනුවෙන් පාරම්බාන රටකට කාලානුරූපව වෙනස් නොවූ ක්ෂේත්‍රයකට නව අපේක්ෂාවක් ගෙනඒමට ඇය සමත් වෙලා.

” මම පශ්චාත් උපාධිය සඳහා තෝරාගත්තේ කෘෂි ඉංජිනේරු අංශය. ඒ සඳහා තායිලන්තයේ (AIT) උසස් අධ්‍යාපන ආයතනයෙන් පසු අස්වනු තාත්ෂණය ආශ්‍රිතව වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා. තායිලන්තයේ විශ්වවිද්‍යාලයේදී ලත් දැනීමට අමතරව මම තායිලන්තයේදී වැඩි වශයෙන් කළේ සංචාරය. මම ඒ රටේ ගොවිබිම්, හරිතාගාර, කෘෂිකාර්මික පර්යේෂණ ආයතන, වෙළෙඳපොළ, ආපණශාලා, හෝටල් මේ සෑම තැනකම සංචාරය කළා. මා එහිදී දුටුවේ එරට ඇති ආහාරමය සම්පත් කළමනාකරණය කරන අපූර්වත්වයයි. ආහාර නාස්තිය අවම කරමින් සෑම ආහාරයක්ම විවිධ ආකාරයකින් අගය එකතුකිරීමක් කරමින් දේශීය වෙළෙඳපොළට මෙන්ම අපනයන වෙළෙඳපොළ වෙතට යොමුකිරීමේ ක්‍රියාවලිය ඉතාමත් දියුණු තත්ත්වයක පවතින ක්‍රියාවලියක්. තායිලන්තයේ පමණක් නොවේ මට අධ්‍යන කටයුතු වෙනුවෙන් චීනයෙනුත් ශිෂ්‍යත්වයක් හිමිවුණා. මම එහිදීත් එරට කෘෂි කර්මාන්තය, පසු අස්වනු තාක්ෂණය මෙන්ම ආහාරමය වෙළෙඳ කටයුතු පිළිබඳ සොයා බැලුවා. මම ඒ අංශයෙන් පශ්චාත් උපාධිය හදාරන අතරේ වෘත්තියෙන් ඉංජිනේරු වෘත්තිකයෙකු වන මගේ සැමියා වන කපිල වීරසිංහ පශ්චාත් උපාධිය සඳහා පුනර්ජනන බලශක්ති අංශය තෝරාගත්තා. ඔහුගේ පර්යේෂණ ඇසුරින් උසස් ප්‍රමිතියකින් යුතුව කර්මාන්ත සඳහා විජලන යන්ත්‍ර නිෂ්පාදනය කළා. එහි ඉහළ ප්‍රමිතිය බලශක්තිය පිරිමැසීම සහ ආහාරවල ගුණාත්මය ඉහළින් ආරක්ෂා කිරීම වැනි කරුණු සලකා ඒ සඳහා අන්තර්ජාතික නව නිපැයුම් සංගමයෙන් රන් සම්මානය පවා හිමිවුණා. එම යන්ත්‍ර සඳහා පේටන්ට් අයිතිය පවා ලබා ගැනීමට සමත්වුණා. වැදගත්ම කාර්ය වුනේ මේ යන්ත්‍ර නිසාම කුඩා කාලයේ සිටම මා අපේක්ෂා කළ ආකාරයේ ව්‍යාපාරය හොඳ පදනමක් ඇතිව ස්ථාපිත කිරීමට හැකිවීමයි.”

විජලනය මඟින් ආහාර කල්තබා ගැනීම සහ අගය එකතු කිරීමේ ක්‍රියාවලිය විද්‍යාත්මක පදනමකින් යුතුව ඉටු කිරීම සඳහා Saviru සහ Amayuu සන්නාම ඔස්සේ කටයුතු කිරීම ශ්‍රියා මහත්මිය කළමනාකරණ සැලැස්මක් සකසා තිබේ. ඒ සැලසුම මෙරට කුළුබඩු සහ ආහාර කල්තබාගන්නා ක්ෂේත්‍රයේ සැමට ආදර්ශයක්.

අපේ ව්‍යාපාරයේ ඇති විශේෂත්වය මෙය කාන්තාවක් විසින් කාන්තාවන්ගේ වැඩි සහභාගිත්වයකින් කරන ව්‍යාපාරයක්. ආහාර නෙළාගැනීමේ සිට අලෙවිකරණ ක්‍රියාවලිය දක්වාම මේ ක්‍රියාවලිය සඳහා වැඩි වශයෙන් සහභාගිවෙන්නේ කාන්තාවන්.

පිරිසිදුව හා ආහාරවල ගුණාත්මය හැකි උපරිමයෙන් ආරක්ෂා කර වෙළෙඳපොළ ඉදිරිපත් කිරීමේ අරමුණ ජයගැනීමයි මෙහිදී අපි මුහුණදෙන මූලික අභියෝගය. ඒ සඳහා වන පළමු පියවර ආහාර සුදුසුම අවස්ථාවේ පැසීම, ඉදීම, ඉඟුරු, කහ වැනි අලවර්ග සිටුවීමෙන් අනතුරුව මාසගණන නියම ආකාරයෙන් සම්පූර්ණ වීමෙන් පසු, සුරක්ෂිතව නෙළා ගැනීමයි. එමෙන්ම අතරමැදියන්ගෙන් තොරව ගොවි බිමෙන්ම සුදුසුම තත්ත්වයේ ආහාර මිලදී ගැනීමේ ක්‍රමයක් දැනටමත් අපි ගොඩනඟා තිබෙනවා. එසේ නෙළාගැනීමෙන් අනතුරුව පළමු පියවර පිරිසිදු ජලයෙන් සෝදා පිරිසිදු කිරීමයි. ඉන් අනතුරුව පවනේ වේළීම, මඳ වශයෙන් තැම්බීම. කැබලි කිරීම ආදීවූ ඒ ඒ ආහාරට අවශ්‍ය අත්‍යවශ්‍ය පෙර සැකසුම් ක්‍රියාවලියට යොමු කිරීමෙන් අනතුරුවයි යාන්ත්‍රික විජලන ක්‍රියාවලියට යොමු කිරීම සිදුවෙන්නේ. මේ සියලු ක්‍රියාවලිය ගොවිබිමෙන් නෙළාගැනීමෙන් අනතුරුව පැය 48ක් වැනි කෙටි කලෙකින් අවසන් කිරීම ආහාර සුරක්ෂිතතාව සඳහා අත්‍යවශ්‍ය කාරුණක්. ඉන් අනතුරුවයි ඇසිරීමේ ක්‍රියාවලියට යොමුවෙන්නේ.

අපි මුලින්ම ආරම්භ කළේ විද්‍යාත්මක ක්‍රමයට කුරුඳු සැකසීමේ ව්‍යාපාරයක්. යාන්ත්‍රික විජලන ක්‍රියාවලිය ඔස්සේ අපනයනය සඳහා ඉහළ ගුණාත්මයකින් යුතුව කුරුඳු නිෂ්පාදනය කිරීමට අපි සමත්වුණා. ඉන්පසුව හවුල් ව්‍යාපාරයක් ලෙසින් ඇරඹු saviru නිෂ්පාදන ආයතනය 2022 දී Saviru Spices & Naturals (Pvt) Ltd ලෙසින් ස්ථාපිත කළා. මේ වන විට උසස් ප්‍රමිතියකින් යුතුව දෙස් විදෙස් වෙළෙඳපොළට ඉදිරිපත් කරන අපගේ නිෂ්පාදන සඳහා දැන් පවතින ඉල්ලුම සැපීරීමට අසීරු තත්ත්වයකයි අපි පසුවෙන්නේ.”

saviru කුළුබඩු සඳහා ISO 22000 තත්ත්ව සහතිකය හිමිවී ඇති අතර ලොව ජයගත හැක්කේ ඉහළ ප්‍රමිතිය, නාස්තිය අවම කිරීම, තාක්ෂණික ප්‍රවේශය මෙන්ම විද්‍යාත්මක දැනුම ඒකරාශි කරන නිෂ්පාදනයනට පිවිසීමෙනි.

බුද්ධිකා බ්‍රාහ්මණ‍

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT