ඉමාම් සහ අල්විස් යනු එකම ගමේ යහළුවෝ දෙදනෙකු නොවේය. ඒ දෙදෙනා කලක පටන් එහෙම එකමුතුකමක් ද නැත්තේය. එහෙත් මේ දිනවල දෙදෙනාගේ නම කියවෙන්නේ එකටය. ඒ. එන්. ජේ. ද අල්විස් වාර්තාව යනු පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කරන ලද කමිටු වාර්තාවකි. පාස්කු දින ප්‍රහාරය වළක්වා නොගැනීම සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ යම් අඩුපාඩුවක් දැක්වූවාද යන්න සොයා බලා එම වාර්තාව ලියා තිබේ. ඒ. අයි. ඉමාම් කමිටුව පත් කරන ලද්දේ චැනල් ෆෝ නාළිකාව විසින් පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙත එල්ල කරන ලද චෝදනා විභාග කිරීම සඳහාය.
මේ දවස්වල වැල නොකැඩී මෙම වාර්තා දෙකේ නම් කියවෙන්නේය. ඔය ආකාරයට නව කතාවක් ගැන, සමාජය කතා වූයේ නම් ලේඛකයා කෝටිපතියෙකි. පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් සඳහා සර්ව සාධාරණය අවශ්‍යය. එසේම මේ අපරාධය වැසී යෑමට ඉඩ දිය නොහැකිය. මේ රටේ ඔවැනි ගණයේ බරපතළ අපරාධ කල් ඉකුත්වීමේ ප්‍රතිඵලයක් ලෙස වැසී යන්නේය. ප්‍රහාරය මරාගෙන මැරෙන ආකාරයේ හෙයින් ඍජු ප්‍රහාරක බළඇණිය, එලොව බලා යන ලද්දේ ඒ අහිංසකයන් ද සමඟය. මේ නිසා දැන් අවශ්‍ය වී ඇත්තේ ‘පිටුපස සිටි හස්තය’ හෙළි කර ගැනීමය. ඒ සඳහා ගින්නක් අවුළා ගන්නා තරමට, මේ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය කුරිරු වී ඇත්තේය. අද මේ තීරුව විභාග කරනුයේ ඒ පිළිබඳව නොවේ. පවුල් සංස්ථාව ලක්ව ඇති ඛේදජනක ඉරණම පිළිබඳවය.
මේ රටේ මාධ්‍ය හැමවිටම කතා කරනුයේ, මහා ආඛ්‍යාන සම්බන්ධව පමණය. අනෙක් ඒවා සුළු සුළු නිව්ස් ලෙස පළ කර, පැත්තකට වී බලා සිටීම මාධ්‍යයේ කාර්යය වී ඇත්තේය. මේ රට තවම සිටින්නේ ආර්ථික අර්බුදයේ කරවටක් බැසගෙනය. නහය ළඟටම අර්බුදයේ ගිලී සිටි කාලය දැන් පසුවී තිබේ. නහයෙන් පහළට හෙවත් කර ළඟට අර්බුදය පැමිණියා කියා, සතුටු විය හැකි නමුත් යළි අර්බුදයේ ගිලී යෑමේ ප්‍රවණතාව ඒ හේතුවෙන් අවසන් වන්නේ නැත. මේ සඳහා වන සාධනීය පියවර රැසක් දැනටමත් රටක් ලෙස අප විසින් ගෙන තිබේ. එසේ වුවත් සමහර අංශ හි රැකවල් තර කර නොමැත්තේ හෙයින් මේ පැත්තෙන් ආර්ථිකය ගොඩගැනීම සඳහා වෙර දරන විට, අනික් පැත්තෙන් ආර්ථිකය නාය යන්නේය. මේ සඳහා හොඳම උදාහරණය වැට් වංචාවය.
2002 වසරේ නොවැම්බර් සිට 2004 දෙසැම්බර් දක්වා වූ වසර දෙකක් සහ මාසයක් ඇතුළත කාලයේ සිදු කළ වැට් වංචාවක් සම්බන්ධයෙන් මේ රටේ අධිකරණය තීන්දුවක් ලබා දුන්නේය. ඒ නඩුව අසන ලද්දේ විත්තිකරුවෝ නොමැතිවය. බදු වංචාවේ සල්ලි ටික සාක්කුවේ දමාගෙන හොරු රැළ ඒ වන විටත් පැනගොස් තිබුණි. වංචාවේ පරිමාණය රුපියල් බිලියන 3.9 කි. දකුණු ආසියාවේ රටක සිදු වූ දැවැන්තම වැට් වංචාව එයය. කොළඹ මහාධිකරණය මේ සඳහා නියම කළ දණ්ඩනය වූයේ බරපතළ වැඩසහිත වසර 20 බැගින් සිරදඬුවම් සහ දඩ මුදල්ය. මොහොමඩ් සුබයිර් අවාමි, මොහොමඩ් මවුජූල් අමීර් සහ මොහොමඩ් කාමිල් කුතුබ්දීන් යන විත්තිකරුවෝ මේ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය ට ගියේ වුවද තීන්දුවේ වෙනසක් වූයේ නැත.
පොල්ල තබන ව්‍යාපාරිකයෝ එසේ වෙද්දී ඇතුළේම අය ද වැඩේට හිටු කියා සම්මාදම දෙන්නෝය.
වැට් වංචා කිරීමේ චෝදනා සඳහා ලක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලකගේ කතාව මේ රටේ ජනයාට දැන් අමතකය. මේ කතා යළි සිහි කැඳවනුයේ අද තත්ත්වය සඳහා ගළපා ගන්නටය. කොළඹ මහාධිකරණය විසින් වසර එකසිය දෙකක බරපතළ සිරදඬුවමකට හේ යටත් කරන ලද්දේ වරද පිළිගත් පසුය. රුපියල් කෝටි හාරසීයකට ආසන්න වැට් වංචා කිරීම සම්බන්ධයෙන් මේ චරිතය චෝදනා ලැබ සිටියේය. සිරදඬුවමට අමතරව රුපියල් කෝටි 1197ක දඩ මුදලක් ගෙවන ලෙසත් ඔහුට නියම වූයේ, වසර හයකට ආසන්න කාලයක නඩු විභාගයකින් පසුවය.
මේ මතක් කිරීම දැලට හසු වූ දෙතුන් දෙනා ගැන පමණය. අනික් සියල්ලෝ දැල කපාගෙන යා හැකි මට්ටමේ දළකාරයෝ වූහ. ඒ සියල්ලෝ දැන් රත්වී ඇත්තේ වෙනදා මෙන් සෙල්ලම් මේ වාරයේ බැරි හෙයිනි. අර්ජුන් ඇලෝසියස්ගේ වැඩේ පත්තුවීමත් සමඟ බොහෝදෙනාගේ පපුව පත්තුවීම සම්බන්ධයෙන් මේ තීරුව සතුටය. එය රටට ආස්වාදය ගෙන දෙන පත්තුවීමකි.
සමහරෙක් ලබාගත් වැට් සඳහා පොල්ල තබා ඇත. තව පිරිසක් වැට් සඳහා ලියාපදිංචි නොවී, ජනතාව තමන්ගේ අතට ගාණක් ලබා දුන්නා යැයි සිතා වියදමට ගෙන තිබේ. අනික් පිරිස ඇතුළේ සිට මේ වැඩ සඳහා උදව්වක් ලබා දී, එයින් බද්දක් ලබා ගන්නා කණ්ඩායමය.
මේ තුන්ගොල්ල එකතුව, සිදු කළ ජාවාරම මේ රටේ ආර්ථිකයට කළ හානිය, පොලිය ද සමඟ තක්සේරු කිරීම සඳහා දැන් කාලය පැමිණ ඇත්තේය. ඩීල් යුගය අවසන් බැවින්, අර තුන්ගොල්ලෝ දැන් ඇඳිවතේම වසුරු පහ කරගන්නා තත්ත්වයකට පත්ව ඇත්තාහ. ඔවුහු යළි පරණ තාලයටම යෑම සඳහා වෙහෙස දරනා බවට සැලව ඇති හෙයින්, ඒ ගමන නිමා කිරීමට කාලය පැමිණ ඇති බව මේ තීරුව දන්වනු කැමතිය.
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් නෛතික කටයුතු සිද්ධ වන්නේය. රටක් දවාලූ ඒ ගින්නෙන් ඔකඳ වීමේ ආශාව ඇත්තෝ තවමත් ඒ සඳහා වෙහෙස වන්නාහ. නෛතික දේ ඒ පිරිසට භාරදී, නීතිය ළඟ නවාගෙන වැට් වංචා කළ පිරිස පිළිබඳව සෙවීම කුණු රසයට වඩා යෙහෙකිය යන්න අපගේ අදහසය.