Home » රටට ඕනෑ යන්ත්‍ර සූත්‍ර රටේම හැදෙන හැටි

රටට ඕනෑ යන්ත්‍ර සූත්‍ර රටේම හැදෙන හැටි

by sachintha
October 22, 2024 1:27 am 0 comment

ජීවිතය යනු අසීරු ගමනකි. වෙනස් ආකාරයේ චින්තනයක් සහිත අවදානම් භාර ගනිමින් කටයුතු කිරීමට රුචිකත්වයක් දක්වන අයෙක් හට එකී ගමන් මඟෙහි අසීරු බව එතරම් දැනෙන්නේ නැත. අද ඔබත් සමඟ බෙදා හදාගන්නට සූදානම් වන්නේ තරමක් අසීරු නමුත් ජීවිතය දිනිය හැකි මං කියන්නා වූ කර්මාන්තයක් පිළිබඳවය. සෑම දෙයක්ම පාහේ විදේශයෙන් ආනයනය කිරීමට උත්සාහ දරන්නා වූ කාලයක දේශීය අනන්‍යතාවය රැක ගනිමින් කටයුතු කිරීම ඉතාමත් වටිනා කාරණාවකි.එවැනි කර්මාන්තයක් පිළිබඳව තොරතුරු අසන්නට ලැබෙනුයේ ගම්පොළ ප්‍රදේශයෙනි. පී. ජී. ප්‍රදීප් කුමාර මහතා විසින් පවත්වාගෙන යනු ලබන යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන සහ අලුත්වැඩියා කරන වැඩපොළක් පිළිබඳව කතාබහ කිරීමට අද ” විස්කම්” පිටුවෙන් මේ ඉඩකඩ වෙන්වේ.

දේශීය කර්මාන්තකරුවකු ලෙස බොහෝ දෙනා අතර ප්‍රචලිත මෙම වැඩපොළෙහි ආරම්භය සිදුවන්නේ මීට වසර ගණනාවකට ඉහතදීය. 2006 වර්ෂයේ පටන් මෙවැනි වැඩපළක් ඇරඹීමේ අදහසක් ප්‍රදිප් මහතා සතුව පැවතියද ඒ සඳහා යෙදවීමට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් ඔහු සතු නොවීය. 2014 වර්ෂයේදී යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කිරීමේ ආයතනයක රැකියාවක් සඳහා එක් වූ ඔහු, නිවසේ ගත කරන කාලය අපතේ නොයවමින් යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කිරීමේ කර්මාන්තයක් අරඹන ලදී. මේ ආකාරයට කලක් ගත වන විට පොලොන්නරුව ප්‍රදේශයේ එක්තරා ව්‍යාපාරිකයකුගෙන් විශාල ඇණවුමක් ඔවුනට හිමි වූ අතර එහිදී යන්ත්‍ර සියයක් පමණ නිෂ්පාදනය කිරීමේ අවස්ථාව ඔවුනට උදා විය. ගම්පොළ ප්‍රදේශයේ සිට පොළොන්නරුව ප්‍රදේශයට පවතින්නා වූ දුර ප්‍රමාණය ඉහළ වීම හේතුවෙන් එම ව්‍යාපාරිකයා විසින් ගම්පොළ ප්‍රදේශයෙන්ම ව්‍යාපාරික ස්ථානයක් ඔවුනට ලබා දෙන ලදී.

මේ ආකාරයට තමන්ගේ එක් සිහිනයක් පත්වීම හේතුවෙන් තමන්ගේම ව්‍යාපාරික ස්ථානයක් ඇරඹීමේ අදහසක් ඔහුට පහළ විය.ඒ හේතුවෙන් වසර දෙකකට පමණ පසු ඉහත ව්‍යාපාරිකයා හට ඔහුගේ උපකරණ නැවත භාර දී තම ව්‍යාපාරය බිංදුවේ සිට ඇරඹීමට ප්‍රදීප් මහතා තීරණය කළේය. තමා වෙත ලැබෙන්නා වූ ඇණවුම් එකින් එක සපුරාලමින් උපයා ගන්නා ලද මුදලින් අවශ්‍ය උපකරණ මිලට ගෙන ව්‍යාපාරය ඉහළට ගෙන ඒමට ඔවුනට හැකියාව ලැබිණි.

ලොකු ලොකු යකඩ කෑලි සමඟ පොර බදින්නා වූ ප්‍රදීප්ගේ සහයට මුල් කාලීනව කිසිදු සේවකයකු සිටියේ නැත. වරින් වර සේවකයින් කිහිප දෙනෙකු පැමිණියද වැඩි කලක් මෙම රැකියාවේ නිරත වීමට ඔවුන් රුචිකත්වයක් නොදැක්විය. කෙසේ නමුත් පියවරෙන් පියවර ඉහළට පැමිණි මෙම වැඩපොළේ මේ වනවිට සේවකයින් පස් දෙනෙකු පමණ සේවයේ නිරත වේ. ඔවුන් විසින් ස්වයං රැකියා සඳහා අවශ්‍ය යන්ත්‍ර, සත්ව ආහාර නිෂ්පාදනය කරන යන්ත්‍ර, බේකරි නිෂ්පාදන ආශ්‍රිත යන්ත්‍ර ඇතුළු පාරිභෝගික අවශ්‍යතාවයන්ට සරිලන ආකාරයේ ඕනෑම නිෂ්පාදනයක් සිදු කරන අතර එකී සෑම නිෂ්පාදනයක් සඳහාම වසරක වගකීම් කාලයක් ද සේවා දායකයින් වෙත දෙනු ලැබේ. මෑත කාලීනව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද යන්ත්‍ර විදේශයට අපනයනය කිරීමටද ඔවුනට හැකියාවක් ලැබිණි. විදේශයෙන් ආනයනය කරන ලද යන්ත්‍ර සූත්‍රයන් හී වගකීම් කාලය සීමිත වීම සහ එම උපකරණ අලුත්වැඩියා කිරීමට අවශ්‍ය අමතර කොටස් සොයා ගැනීම අපහසු වීම හේතුවෙන් අද වන විට දේශීය වශයෙන් නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර උදෙසා වැඩි ඉල්ලුමක් පවතින බව ප්‍රදීප් මහතා අප සමග පැවසීය.

එසේම මුල් කාලීනව තම ව්‍යාපාරය ප්‍රචලිත කිරීම උදෙසා ප්‍රචාරණ උපක්‍රමයක් ඔවුන් සතුව නොතිබිණි. නමුත් ව්‍යාපාරික වැඩමුළු ආදියෙන් ලබා ගත් දැනුම අනුව යමින් ෆේස්බුක් පිටුවක් ආරම්භ කිරීමට ඔවුන් කටයුතු කිරීමත් සමඟ ඇණවුම් විශාල ප්‍රමාණයක් ඔවුන් වෙත ගලා එන ලදී.සාමාන්‍යයෙන් මසක කාලයක් තුළ කුඩා ප්‍රමාණයේ යන්ත්‍ර 8-10ත් අතර ප්‍රමාණයක් අලුත්වැඩියා කිරීමේ හැකියාව ඔවුන් සතුව පවතියි. මෙම ව්‍යාපාරයෙන් සැලකිය යුතු මට්ටමේ ආදායමක් උපයන ඔහුගේ මීළඟ බලාපොරොත්තුව වන්නේ තමාගේම ව්‍යාපාරික ස්ථානයක් මිලට ගැනීම සහ නව යන්ත්‍ර සූත්‍ර වෙළඳපළට හඳුන්වා දීමය. එසේම යන්ත්‍ර සූත්‍ර විදේශයෙන් ආනයනය නොකොට දේශීය අවශ්‍යතාවයන්ට සරිලන ආකාරයට ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම ඔවුනගේ ඒකායන අරමුණ බව ප්‍රදීප් මහතා පැවසීය.

යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කිරීම සහ අලුත්වැඩියා කිරීමේ කර්මාන්තය යනු මනා අවබෝධයකින් සහ ගුණාත්මක භාවයකින් යුතුව සිදු කළ යුතු කර්මාන්තයකි. අද වන විට මෙම කර්මාන්තය පිළිබඳව න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව ලබාදෙන අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාව තුළ පවතින බැවින් අධ්‍යාපන සුදුසුකම් තිබෙන නොතිබෙන ඕනෑම අයකුට එම පාඨමාලා හැදෑරීමට හැකියාව පවතියි. එබැවින් යැපීම් මානසිකත්වය බැහැර කොට, තමා ඉගෙන ගත් දෑ උපයෝගී කරගනිමින් තමන්ටත් රටටත් ඵලදායි කාර්යයක නියැළීමට රුචිකත්වයක් දක්වන්නා වූ ඕනෑම අයෙකු හට මෙම ව්‍යාපාරික අදහස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලීමට හැකිය.

එච්.කේ.එස්. නවෝදා හඳරාගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT