ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය බොහෝ ස්වාභාවික සම්පත්වලින් හෙබි ප්‍රදේශයකි. එහි මීගහකිවුල දුෂ්කරතා පැවතිය ද ධාන්‍ය, කිතුල්, ඉරිඟු, බිම්මල් ආදියට අගය එකතු කිරීමේ වැඩසටහන් සඳහා මේ වනවිටත් කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) මඟින් විවිධ ව්‍යාපෘති දියත් කෙරෙමින් පවතියි. එහෙත් අගය එකතු කිරීමේ ක්‍රියාවලීන් ඔස්සේ තවදුරටත් දේශීය වෙළෙඳපොළට මෙන්ම අපනයන මට්ටම දක්වා වැඩිදියුණු කිරීම් ඒ ඇසුරින් කළ හැකිය. තවම ඒ කෙරෙහි එතරම් නැඹුරුවක් දක්නට නැත.
එහෙත් පාසල ඒ වැඩපිළිවෙළට නව ගැම්මක් දිය හැකි තැනකි. සැබැවින්ම, පාසල් ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩපිළිවෙළ යටතේ ඒ කෙරෙහි යොමු විය හැකිය. විශේෂයෙන්ම මීගහකිවුල නගර මධ්‍යයට වන්නට පිහිටි මීගහකිවුල ජාතික පාසල මේ වන විටත් පාසල් මට්ටමෙන් ව්‍යවසායකත්ව කව වැඩසටහන ක්‍රියාත්මක වන්නකි. ඒ යටතේ අඩු පහසුකම් යටතේ වුවත් සෑහෙන වැඩ කොටසක් මේ විද්‍යාලයෙන් ඉටු කර තිබේ. මේ වනවිට දෙවසරක පමණ කාලයක සිට, මීගහකිවුල ජාතික පාසලත් පාසල් ව්‍යවසායකත්ව වැඩපිළිවෙළට ඉහළ දායකත්වයක් දක්වනු දක්නට පුළුවන. ඒ ඇසුරින් පාසල් මට්ටමෙන් පමණක් නොව, පාසලෙන් පිටත, ස්වයං රැකියා කටයුතුවල යෙදෙන සිසු දරු දැරියන් ගණනාවක්ම මේ පාසලෙන් හඳුනාගත හැකිය. කොහු, කිතුල් ආදී කර්මාන්තවල ඔවුනොවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ද එකතු කරගෙන යෙදෙනු දක්නට පුළුවන.
එසේම, ජලයේ කිවුල ගතිය එම ප්‍රදේශවල ජනතාව උපන් දා සිට නිතිපතා මුහුණ දෙන ගැටලුවකි. කිවුල නැති, නැවුම් දිය දෝතක් වෙනුවෙන් අපේක්ෂා ඒ කාටත් පවතියි. එහිලා හොඳ ආරම්භයක් මීගහකිවුල ජාතික පාසලේ සිසු දරු දැරියන්ගෙන් ඉදිරිපත් කෙරිණ. ඒ, සරල තාක්ෂණයෙන් යුතු ජල පෙරණයකි. සම්ප්‍රදාය සහ සරල තාක්ෂණය එක් තැන් කරගත් එය, ඌව පළාත් මට්ටමෙන් ඉහළින් ඇගයීමටත් ලක් විය. ඒ, කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් පළාත් මට්ටමෙන් පාසල් ව්‍යවසායකත්ව කව අතර පැවති නවෝත්පාදන තරගයේදීය. එහිදී එම පළාතෙන් සිව්වැනි තැන දිනා ගත්තේ මීගහකිවුල ජාතික පාසල ඉදිරිපත් කළ, කිවුල ඉවත් කරන ජල පෙරණයටයි. ඉවතලන දෙයින් මෙන්ම ස්වාභාවික සම්පත් උපයෝගි කරගෙන සිසු දරු දැරියන් නිපදවූ එය බොහෝ දෙනකුගේ අවධානය දිනා ගත්තකි. හුඟ දෙනකුගේ ඇගයීමට ලක්වූවකි. ඒ අත්කම් ආදී තවත් විවිධ කර්මාන්ත ඇසුරින් සිසු සිසුවියන් දස්කම් පෙන්වමින් සිටියදීය.
ජල පෙරණයක් නිෂ්පාදනය කිරීමේ නවෝත්පාදනය වෙනුවෙන් සහතික ආදී ත්‍යාග ලද මීගහකිවුල ජාතික පාසල් දරු දැරියෝ එයින් නොනැවතුණහ. ආහාර, පලතුරු ආදිය විසිතුරු අයුරින් සකසා ඉදිරිපත් කිරීමටත් ඔවුහු හපන්කම් දැක්වූහ. ඒ අතර, කොමඩු ඇසුරින් විසිතුරු මල්, සතුන් ආදි හැඩතලවලට කපා සකස් කොට, ආකර්ෂණීය අයුරින් එළිදැක්වූහ. තවදුරටත් පාසලේ කසළ ගැටලුවටත් නිර්මාණශීලී පිළියමක් යෙදීම කෙරෙහි ද මේ සිසු සිසුවියන්ගේ අවධානය යොමුවී ඇත. ඒ කෙරෙහි ද මීගහකිවුල ජාතික පාසලේ විදුහල්පති අජන්ත පද්මකුමාර මහතාගේ මූලිකත්වයෙන් එහි ව්‍යවසායකත්ව කව භාරව කටයුතු කරන, ආචාරිණී, ආර්. එම් ප්‍රියංගිකාගේ මඟපෙන්වීම යටතේ ඒ කටයුතු සිදු කෙරේ.
එවන් දක්ෂතා, හපන්කම් බොහොමයකින් පොහොසත් මීගහකිවුලේ දුෂ්කරතා මැදින් හිස ඔසවන දරුවන්ට කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක, පාසල් ව්‍යවසායකත්ව කව වැඩසටහන ඔස්සේ නිරතුරුවම නවීන තාක්ෂණික දැනුම, පුහුණුව, කළමනාකරණය ආදී ක්ෂේත්‍ර හරහා සහාය දීමට සූදානම් බව, කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඌව පළාත් ප්‍රාදේශීය අධ්‍යක්ෂ, හරින්ද්‍ර උපුල් රත්නායක මහතා අවධාරණය කරයි. හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ,
‘මීගහකිවුල ප්‍රදේශයත් කිතුල් නිෂ්පාදන ඇසුරින් ඉහළ ආදායම් ලබන තැනට පහසුවෙන් පත් කළ හැකියි. වැඩුණු එක් කිතුල් ගසකින් රුපියල් ලක්ෂ 25කට වඩා වැඩි අාදායමක් ලැබෙනවා. එසේම, ඒ සඳහා අමුතුවෙන් විශාල වියදමක් දැරිය යුතු නැහැ. ඊට පෙලඹවීමක් සමඟ අගය එකතු කිරීම් ඔස්සේ ප්‍රමිතිගත නිෂ්පාදනයක් කිරීමම ඊට සෑහෙනවා. ඒ පිළිබඳ අපි කාර්මික සංවර්ධන මණ්ඩලය වශයෙන් ජනතාව දැනුම්වත් කරමින් සිටිනවා. ඉතා පහසුවෙන් අපනයන තත්ත්වයේ නිෂ්පාදන රැසක්ම කිතුල් ඇසුරින් සකසන්නට මේ ජනතාවට එවිට පුළුවන්. ඒ සඳහා හැමෝම කිතුල් ගස් නැඟීමම අවශ්‍ය නැහැ. ඒ ඵලදාවෙන් අගය එකතු කිරීම් ඔස්සේ විවිධ නිෂ්පාදන ගෘහාශ්‍රිතවත් කළ හැකියි. එය, කාන්තාවකටත් කළ හැකි දෙයක්. සිසු සිසුවියන්ටත් පවුල්වල සාමාජිකයන් සමඟ එම නිෂ්පාදන කිරීම අපහසු නැහැ. එවිට නිවෙසින් බැහැර රක්ෂාවලට නොගොස් නිවෙසේ සිටම ආදායම් උපයන්නට කාන්තාවන්ටත් පුළුවන්. මේ ඇතුළු අගය එකතු කිරීම් ඔස්සේ දැනට වඩා වැඩි ප්‍රමිතියක් සහ ආදායමක් ග්‍රාමීය ජනතාවට දීමයි අපේක්ෂා කරන්නේ…’
නුවන් මහේෂ් ජයවික්‍රම