Home » ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරස්ථානයේ දොළොස්මහේ පහන ගලවා උස්සගෙන යන්න බැරිව මළුවේ දමා ගිහින්

ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරස්ථානයේ දොළොස්මහේ පහන ගලවා උස්සගෙන යන්න බැරිව මළුවේ දමා ගිහින්

by sachintha
October 22, 2024 1:52 am 0 comment

කෑගල්ල දේවාලේගම වට්ටාරම ඓතිහාසික ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරස්ථානයේ ඉපැරැණි බෝධීන් වහන්සේ අබියස වීදුරු කුටියක සවි කර තිබුණු දොළොස් මහ පහන පෙරේදා (20) රාත්‍රී යම් කිසි පිරිසක් ගලවා පිටතට ගෙන රැගෙන යාමට නොහැකිව මළුවේ දමා ගොස් ඇතැයි දේවාලේගම පොලිසිය පැවසීය.

දේවාලේගම වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජ මහා විහාරස්ථානය මෙරට අවසන් වරට වැඩ සිටියේ යැයි කියන මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටි පෞරාණික උතුම් පින්බිමකි. මෙම පින්බිම කෑගල්ල පොල්ගහවෙල මාර්ගයේ පිහිටා ඇති අතර වෑවල සමිත හිමියෝ කලක සිට විහාරස්ථානයේ භාරකාර හිමියන් ලෙස වැඩ හිඳින බව දේවාලේගම පොලිසිය පැවසීය.

මෙම පින්බිමේ බෝධීන් වහන්සේ ආසන්නයේ වීදුරු කුටියක් තුළ අඩි 6ක් උස සුදු යකඩවලින් නිෂ්පාදිත දොළොස් මහ පහනක් කලක සිට සවි කර තිබේ. පිටත සිට පහනට පොල් තෙල් දැමිය හැකි අතර පැය 24ම පහන දැල්වෙන බව භාරකාර හිමියෝ පැවසූහ. දොළොස් මහ පහන සවි කර ඇති වීදුරු කුටියට ඉබි යතුරු දැමිය හැකි අතර පසුගිය කාලය පුරා ඉබි යතුරු දමා නොමැත.

ඊයේ (21) පෙරවරුවේ දොළොස් මහ පහන සවි කර තිබෙන වීදුරු කුටියේ තිබුණු පහන ගලවා කොටසක් පිටතට ගෙන රැගෙන යාමට නොහැකිව දමා තිබුණු අයුරු විහාරාධිකාරි හිමියෝ දැක දේවාලේගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT