ප්‍රංශයේ මේ වන විට රැඳී සිටින බව කියැවෙන රූබන් නමැති ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුගේ මත්කුඩු ජාලයට සම්බන්ධ පුද්ගලයකු රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 258ක් සහ ජාවාරම්වලින් උපයා ගත් බව සැක කරන රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය විසින් පෙරේදා (20) අත්අඩංගුවට ගෙන ඇත.
කොලොන්න, පොතුවිල් කුඹුරේ පදිංචිකරුවෙක් වන මේ සැකකරු වත්තල, කෙලවරපිටියේ තාවකාලිකව පදිංචිව සිටින අයෙක් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
ව්‍යාපාරිකයෙක් ද වන මේ සැකකරු මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බවට පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව පෙරේදා (20) සවස ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථය හඹාගොස් වත්තල, අල්විස් ටවුන් මාර්ගයේ පාලම අසලදී එම මෝටර් රථය නවතා පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී මෝටර් රථයේ තිබී රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනාකමක් ඇති හෙරොයින් ග්‍රෑම් 258ක් සොයාගෙන ඇත. ඒ හැරුණු කොට රථයේ තිබී මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් අට ලක්ෂ හැට නව දහස් අටසිය අනූවක මුදලක් ද පොලිස් විශේෂ කාර්ය බළකාය සොයාගෙන තිබේ.
අනතුරුව ඔහු පදිංචිව සිටි වත්තල, කෙලවරපිටියේ නිවෙස පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබී රුපියල් ලක්ෂ 22ක මුදලක් ද හමුවී ඇත. මේ මුදල මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් මුදල් බවට සැක කරන බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
සැකකරු රඳවාගෙන විමර්ශන පැවැත්වීමට කටයුතු කරන බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ