Home » හලාවත කෝටිපතියා බිරිය-දියණිය මරා පුලුස්සා ගින්නට පැන දිවි නසාගෙන

හලාවත කෝටිපතියා බිරිය-දියණිය මරා පුලුස්සා ගින්නට පැන දිවි නසාගෙන

by sachintha
October 22, 2024 12:12 am 0 comment

සිය බිරිය හා දියණිය ඝාතනය කර එම සිරුරුවලට ගිනි තබා හලාවත කෝටිපති ව්‍යාපාරිකයාද ගින්නට පැන සියදිවි හානි කරගෙන ඇතැයි හලාවත සිංහපුරේ පිහිටි නි‍ෙවසක් තුළ සිදු වූ මරණ සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ විමර්ශනවලින් තහවුරු වී තිබේ. බිරිඳත් දියණියත් ඝාතනය කර ඇත්තේ ගෙල කපා බව හලාවත රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අයි.එම්. ඉලංගරත්න මහතා විසින් කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන්ද තහවුරු වී ඇත.

බිරිඳගේ ගෙලෙහි කැපුම් පහරවල් 06ක්ද දියණියගේ ගෙලෙහි කැපුම් පහරවල් 02ක්ද ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී නිරීක්ෂණය වී තිබේ. කෝටිපති ව්‍යාපාරිකයා විසින් සිය දියණිය හා බිරිය ඝාතනය කළේ ඇයිදැයි පැහැදිලි නැතත් ඔහු මෙම අපරාධය සිදු කර ඇත්තේ මත්පැන් පානය කර බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

නිතර මත්පැන් පානය නොකරන පුද්ගලයකු වන ඔහු මෙම අපරාධය සිදු කිරීමට පෙර මත්පැන් බෝතල් එකයි කාලක් පානය කර ඇති බවට සැක කරන තොරතුරුද විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

බිරිඳගේ ගෙල කපා ඇත්තේ පිහි පහර 06ක් එල්ල කර බව ඊයේ හලාවත රෝහලේ දී කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී ඇති අතර ඇගේ මරණය සිදුව ඇත්තේ දියණියගේ මරණයට පැය 12කට පමණ පෙර බව ද පෙනී ගොස් ඇත. ඒ අනුව පොලිසිය සැක කරනු ලබන්නේ බිරිඳව නිදි ඇඳේ දී ඝාතනය කර ඇත්තේ 19 වෙනිදා පෙරවරුවේ දී හෝ දහවල් කාලයේ දී බවය. ඇගේ මරණය 19 වෙනිදා සිදුව ඇති බව පෙනී ගොස් ඇත්තේ සිරුරේ කොටස් පරීක්ෂාවෙනි. ඒ වන විටත් ඇතැම් කොටස් නරක් වී තිබී ඇති බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය. ඇගේ ගෙල කඳින් වෙන්වන තරමට කපා තිබී ඇත.

මෙම අපරාධය නි‍ෙවස තුළ සිදුවන විට නිවසේ සිට ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයාත් බිරිඳත් පමණක් බව පොලිසිය මෙතෙක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. දියණිය උපකාරක පංතියකට සහභාගි වී මිතුරියකගේ නිවසකට ගොස් සිට ඇති බවත් රාත්‍රී 8.15ට පමණ ඇයව එම මිතුරියගේ නිවසේ සිට යතුරුපැදියකින් රැගෙන විත් ඇත්තේද කෝටිපති ව්‍යාපාරිකයා විසින් බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

දියණිය රාත්‍රී ආහාරය ගෙන ඇති බවට සාක්ෂි ඇති බවත් ඇයව මරා දමා ඇත්තේ රාත්‍රී 8.15න් පසුව බවත් ඇයගේ ගෙලෙහි කැපුම් පහරවල් දෙකක් ඇති බවත් පොලිසිය කියයි. එම කැපුම් පහරවල් දෙකෙන් දියණියගේ ගෙල සියයට 95ක් පමණ කැපී තිබී ඇතැයිද මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත.

සිය බිරිඳවත් දියණියවත් ඝාතනය කළ මෙම කෝටිපති ව්‍යාපාරිකයා ලී දඬු පොල් ලෙලි ඇතුළු ද්‍රව්‍ය එකතුකර නිවසේ සාලයේ ඒවා ගොඩ ගසා නිවස තුළ වූ බඩු භාණ්ඩද ඒතුළ දමා ඇති බවට පොලිසියට සිය විමර්ශනවලින් පෙනී ගොස් ඇත. අනතුරුව ඔහු දියණියගේ සිරුර එහි තබා භූමිතෙල් වත්කර ගිනි තබා ඇති බවත් කාමරයේ ඇඳක් මත තිබූ බිරිඳගේ සිරුරටද ගිනි තබා ඇති බවත් විමර්ශනවලින් පෙනීගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. දියණියගේ සිරුරට තැබූ ගින්නට පැන ව්‍යාපාරිකයා ද සියදිවි හානි කරගෙන ඇති බව පෙනී යන්නේ යැයිද එම නිලධාරියා කීය.

ව්‍යාපාරිකයාගේ සිරුර පරීක්ෂා කිරීමේ දී කැපුම් පහරවල් හෝ අපරාධකරුවකුගේ ගොදුරක් බවට පත්වූ ලක්ෂණ පෙනෙන්නට තිබී නැත. ඔහුගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා විසින් විවෘත තීන්දුවක් ලබා දී ඇති බව ද පොලිසිය සඳහන් කළේය. බොහෝ විට ඔහුගේ මරණය සිදුව ඇත්තේ ගින්නට පිලිස්සීමෙන් බවට සැක කරන බව ද පොලිසිය සඳහන් කළේය.

මෙම අපරාධය සිදුවූ නිවස අධිකරණ වෛද්‍යවරයාගේත් ගිනි සම්බන්ධයෙන් වූ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන්ගේත් පරීක්ෂාවට පෙරේදා (20) ලක්ව තිබුණි. එසේම පොලිසිය විසින් කළ මූලික විමර්ශනවලින් තහවුරු වී තිබුණේද මෙම අපරාධය නිවස තුළින්ම සිදුවූවක් බවය. දොර ජනෙල් සියල්ලක්ම තිබී ඇත්තේ ඇතුළතින් වසා දමාය. දොරගුළු කඩා නිවස තුළට ගොස් ඇත්තේ පොලිසිය සහ ගිනි නිවීමේ සේවා අංශයේ නිලධාරීන්ය.

මෙම මළ සිරුරු තුන පොලිසිය සොයා ගන්නේ පෙරේදා (20) උදෑසන කාලයේදීය. මෙලෙස මියගොස් ඇත්තේ ඇත්තේ 52 හැවිරිදි එස්.ජී.සේනාරත්න නමැති ව්‍යාපාරිකයාත් ඔහුගේ, බිරිය 43 හැවිරිදි මංජුලා නිරෝෂනී හා 15 හැවිරිදි දියණිය වූ නෙත්මි නිමේෂා නමැති තිදෙනාය.

ව්‍යාපාරික එස්.ජී. සේනාරත්න මහතා හලාවත නගරයේ පර්ල් ලෑන්ඩ් සේල් නමැති ඉඩම් කැබලි කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඔහුගේ බිරිය වන මංජූලා නිරෝෂනී මහත්මිය හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීනියක් ලෙස මුන්නේෂ්වරම වසම භාරව කටයුතු කර ඇති බවත් දියණිය හලාවත ආනන්ද ජාතික පාසලේ 10 එෆ් ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිට ඇති බවත් පොලිසිය සඳහන් කරයි. ව්‍යාපාරික කටයුතු හේතුවෙන් මෙම ව්‍යාපාරිකයා මුදල් ගැටලු රැසකටද පසුගිය කාලයේ මැදිවී සිට ඇත.

හලාවත – කුරුණෑගල පාරේ ව්‍යාපාරිකයාගේ බිරිඳට අයත් අක්කර 05ක ඉඩමක් තිබී ඇති බවත් එම ඉඩම කට්ටිකර විකිණීම සඳහා ව්‍යාපාරිකයා උත්සාහයක නිරතව ඇති බවට තොරතුරුද විමර්ශනයේ දී පොලිසියට ලැබී තිබේ.

ඊට බිරිය සිය අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර ආරවුලක්ද තිබී ඇති බවට තොරතුරුද පොලිසියට ලැබී ඇත.

ඒ සම්බන්ධයෙන් වූ ආරවුලක් මුල්කරගෙන බිරිය හා දරුවා ඝාතනය කර ව්‍යාපාරිකයා ද සියදිවි හානිකරගෙන තිබෙන බව මෙතෙක් කර ඇති විමර්ශනවලින් පොලිසියට පෙනී ගොස් තිබේ.

හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත අමරතුංග මහතාගේ අධීක්ෂණය යටතේ හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්ෂාන්ත පෙරේරා මහතා සමඟ අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ශාන්ත මහතා ඇතුළු නිලධාරීන් රැසක් මෙම පරීක්ෂණ සඳහා එක්ව තිබිණි.

 

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT