සූරියවැව වැවේගම පිහිටි කම්හලක් තුළ රහසිගතව ගිනි අවි නිෂ්පාදනය කළ කම්හල්කරුව නිෂ්පාදනය කළ ගිනි අවියක් සහ ගිනි අවි කොටස් රැසක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ සූරියවැව කඳවුරේ නිලධාරීන් පෙරේදා (20) අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 33ක් වන මෙම කම්හල්කරුගේ පියාද කම්හල්කරුවකු බවත් ගිනි අවි නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයේ නඩු විභාගයන් පැවැත්වෙන බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. මේ වන විට 70 හැවිරිදි වියේ පසුවන ඔහු රෝගී වී සිටින බැවින් කම්හලේ කටයුතු සිදු කරනු ලබන්නේ පුතා විසින් බව ද විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.
ටී 56 අවිවලට යොදන පතරොම් යෙදිය හැකි ආකාරයට පිස්තෝල අවි පවා ඔහු නිෂ්පාදනය කරන බවත් මෙම කම්හල වටලන විට එවැනි පිස්තෝලයක් නිෂ්පාදනය කර තිබිය දී හමුවූ බවත් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
මෙම සැකකරුගේ පියා විසින් නිෂ්පාදනය කර ඇත්තේ බඳින තුවක්කු, සහ ෂොට්ගන් වර්ගයේ අවිවලට යොදන පතොරම් යොදා වෙඩි තැබීමට යොදා ගන්නා පිස්තෝල බවත් පුතා විසින් පියාට වඩා ඉදිරිටයට යමින් ටී 56 පතරොම් යොදා වෙඩි තැබිය හැකි ආකාරයට පිස්තෝල නිෂ්පාදනය කරන බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
සාමාන්‍ය කම්හල් වැඩ කරන අතරතුර හොර රහසේ මෙම ස්ථානයෙන් ගිනි අවි නිෂ්පාදනය කර ඇති බව ද අනාවරණය වී තිබේ. මෙහි නිෂ්පාදනය කරන පිස්තෝලයක් අලෙවි කර ඇත්තේ රුපියල් 45,000ක මුදලකට බව ද විමර්ශනවලින් අනාවරණය වූ බව විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.
දීර්ඝ කාලයක් තිස්සේ මෙම ස්ථානයෙන් ගිනි අවි නිෂ්පාදනය කර බෙදා හැර ඇති බවත් එම ප්‍රමාණය කොපමණදැයි නිශ්චිත ලෙස තහවුරු නොවන බවත් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.
විශේෂ කාර්ය බළකාය හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී වෑවිටවිධාන මහතාගේ අධීක්ෂණයෙන් හම්බන්තොට කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යූ.ජී.එස්. පුෂ්පකුමාර ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම කර තිබේ.
ගයාන් කුමාර වීරසිංහ, සූරියවැව විශේෂ නුවන් ජයසේකර