පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පොලිස් ජීප් රථයකට සමාන රථයකින් පරකඩුව මෙනේරිපිටියේ නිෙවසකට කඩාවැදී තරුණයකු පැහැරගෙන යමින් සිටියදී එය වැළැක්වීමට වාහනයේ එල්ලුණු තරුණයාගේ පියාව යටකර ඝාතනය කර පලා ගිය කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට ඇහැළියගොඩ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. පැහැරගත් තරුණයා ඇහැලියගොඩ පනාවල මාර්ගයට රැගෙන ගොස් ජීප් රථයෙන් බිමට බස්සවා පහර දී මහ මග දණ ගස්සවා රසායනික ද්‍රව්‍යයක් ඇඟට හලා ඇති බව ඇහැලියගොඩ පොලිසිය සඳහන් කළේය.
මෙම අපරාධය පසුගිය 19 වෙනිදා සිදුව ඇත. මෙහි දී වාහනයට යටකර ඝාතනය කර ඇත්තේ පී.පී. පියසේන (65) නමැති අයෙකි.
මෙම සිදුවීමත් සමඟ අසල්වැසි නිෙවසක ජීවත්වූ අඹුසැමි යුවළක් ඔවුන්ගේ දරුවන්ද සමඟ ගේ දොර වසා පලාගොස් ඇති බවත් මෙම සිදුවීම හා එම පවුල අතර යම් සම්බන්ධයක් තිබේදැයි විමර්ශනයක් පැවැත්වෙන බව සබරගමුව පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා සඳහන් කළේය.
පොලිස් නිලධාරීන් බව සඳහන් කරමින් නිෙවසට ඇතුළු වූ පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නිෙවසේ සිටි තරුණයාව පැහැරගෙන ගොස් ඇත්තේ පහර දෙමිනි. වාහනයට නංවාගෙන ඔහුව රැගෙන යන විට තරුණයාගේ පියා වාහනයේ එල්ලෙමින් පුතාව රැගෙන නොයන ලෙස ආයාචනාකර තිබේ. එහි දී පියා වාහනයේ එල්ලී සිටිය දී වාහනය ඉදිරියට ධාවනයකර ඇති බවත් ඔහු බිමට වැටුණු විට වාහනයට යටකර පලාගොස් ඇති බවත් පොලිසිය කියයි.
වාහනයට යටවීමෙන් බරපතළ ලෙස තුවාල ලබා සිටි තරුණයාගේ පියා රෝහල්ගත කර ඇත. ඔහු මියගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
පැහැරගත් තරුණයාව පනාවල දී මාර්ගයේ දණගස්සවා පහර දී රසායනික ද්‍රව්‍යයක් ඇඟට හලා පොලිස් වෙසින් සිටි පිරිස පලාගොස් ඇත්තේ ඔහුව මහ මග අතහැර දමාය.
මෙම තරුණයාගේ සහෝදරයා යුද හමුදා සේවයේ සිටින බවත් එම සහෝදරයාගේ බිරිය සමඟ අසල්වැසියෙක් හිතවත්කමක් තිබී ඇති බවත් විමර්ශනයේ දී අනාවරණය වී තිබේ. එම හිතවත්කම දුරදිග ගොස් තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් එම අසල්වැසියා සමඟ ආරවුලක් තිබී ඇති බවත් සහෝදරයාගේ බිරිය මේ හේතුවෙන් ඇගේ මහගෙදරට පිටත්කර යවා තිබී ඇති බවත් පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් පැහැරගැනීමට ලක්වූ තරුණයා සමඟ අසල්වැසියා යම් වෛරයකින් සිට ඇති බව පෙනී යන බවත් මෙම සිදුවීමෙන් පසු පලාගොස් ඇත්තේ එම අසල්වැසියා සමඟ ඔහුගේ පවුලේ සාමාජිකයන් බව පොලිසිය කියයි.
ගයාන් කුමාර වීරසිංහ