හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනගිය වැඩපිළිවෙළ වෙනස් කළහොත් රට නැවත වරක් කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ආර්ථික පරිවර්තන පනත, ණය නැවත ගෙවන පනත සහ වෙනත් ගෙනත් තිබෙන නීති රීති ආදිය වෙනස් කළ හැකි මුත් එසේ කළහොත් වන්නේ රට නැවත වරක් අගාධයට යෑම බව ද ඒ මහතා අවධාරණය කළේය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල, උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (19) පැවැති විශේෂ බලමණ්ඩල රැස්වීමට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා,
“අපි හැමදාමත් ප්‍රකාශ කළේ දුප්පත්කම, දුප්පත්කමින් නැති කරන්න බැහැ කියලා. නමුත් අපේ රටේ ජනතාව තාමත් උත්සාහ කරන්නේ දුප්පත්කම දුප්පත්කමින් නැති කරන්න. දැන් දුප්පතාට හිතවත් කියන ජනාධිපති කෙනෙක් මේ රටේ ජනාධිපති පුටුවට පත්වෙලා තිබෙනවා. එහෙනම් ඉතින් ඡන්ද දායකයෝ නියත වශයෙන්ම දුප්පත්. ඒක වරදින්නේ නැහැ. දුප්පතාගේ හිතවතා වෙන්නේ උගතා, දුප්පතාගේ හිතවතා බුද්ධිමතා, දුප්පතාගේ හිතවතා පොහොසතා, දැන් බලන්න රට නැවත වරක් වැරදි සටන් පාඨයක් හරහා ගෙන ගිහිල්ලා, මහජනයා බලාගෙන ඉන්නවා පොහොසත් වෙනකන්. අපි බලමු ලබන අවුරුද්දේ වෙසක් එක වෙනකන්. වෙසක් එකට අපේ රටේ මිනිස්සු බකට් පත්තු කරයි ද නැද්ද කියලා. කොහොම වුණත් අපි ඒ අයට අවස්ථාව දෙන්න ඕනෑ. අපිට කියන්න බැහැ ඒක හරි ද වැරදි ද කියලා. මගේ මතය අනුව නම් මට කියන්න පුළුවන් මේක වැරදියි. මට හිතෙන්නේ මේ අය මුළු රටම අමාරුවේ දැම්මා. මේ යන අතරේ තමයි පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ. අපේ පක්ෂයේ නායකයා හැටියට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා විශේෂ ප්‍රකාශයක් කරලා කිව්වා, සිලින්ඩරය ලකුණ යටතේ පළපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවන්න කියලා.”
මේ අවස්ථාවට හිටපු ඇමැති රමේෂ් පතිරණ, හිටපු ඇමැති මනූෂ නානායක්කාර, මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගෑස් සිලින්ඩරය ලකුණින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග වදින සියලු අපේක්ෂකයන්, ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන්, පක්ෂ ක්‍රියාකාරීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
නෙත්මි පූජනී රත්නායක,
ගාල්ල දිසා සමූහ නන්දසිරි වැලිගමගේ