ජෝර්ජ් ඊ. ද සිල්වා මහතාගේ මැතිවරණ වේදිකාවේ කථිකයෙක් ටී.බී. ඉලංගරත්න මහතාට “රැකියාවේ යෙදී සිටිද්දී පගා ගැහුවේ යැයි” අපහාස කළ නිසාය. ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩුව ඔප්පු වූයෙන් ජෝර්ජ් ඊ. ද සිල්වා මහතාට නුවර ආසනය අහිමි වූ අතර හිස් වූ ආසනයට පැවැත්වූ අතුරු මැතිවරණයෙන් ටී.බී. ඉලංගරත්න මහතා ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට ආවේය.
අප රටේ 16 වන පාර්ලිමේන්තුව මේ වෙන විට විසුරුවා අවසන් ය. 17 වන පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් පත්කර ගැනීමේ පාර්ලිමේන්තු මහා මැතිවරණය එළඹෙන නොවැම්බර් මස 14 වෙනි දින පැවැත්වීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලද්දේ, ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් සම්පූර්ණයෙන් ම නිදහස නොලැබූ යුගයකය. මෙම සටහන ඒ පිළිබඳ මතකය අවදි කිරීමකි.
සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පිහිට වූ පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 101 දෙනෙකු තෝරා ගැනීමේ මැතිවරණය 1947 අගෝස්තු 23 සිට සැප්තැම්බර් 20 දක්වා විටින් විට දින 19ක් තිස්සේ පවත්වන ලදි. ඔවුන්ගෙන් 95 දෙනෙක් මැතිවරණ කොට්ඨාශ වලින් ද, 6 දෙනෙක් ආණ්ඩුකාරතුමා විසින්ද පත් කිරීමට නියමිත විය. මෙම මැතිවරණයට මුහුණ දීම සඳහා ඩී.එස්. සේනානායක මහතා විසින් එක්සත් ජාතික පක්ෂය පිහිටුවන ලදි. ඊට අමතරව මැතිවරණය සඳහා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය හා සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය, ලංකා ඉන්දියානු කොංග්‍රසය හා බොල්ෂෙවික් සම සමාජ පක්ෂය ද ඉදිරිපත් විය.
1931 හා 1936 දී පවත්වන ලද රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්ද විමසීම්වල දී විවිධ පාටින් යුක්ත ඡන්ද පෙට්ටිවලට ඡන්දය දැමීම වෙනුවට අපේක්ෂකයන් වෙත ලබා දී තිබූ ඡන්ද ලකුණ අනුව සලකුණු කිරීම ප්‍රථමවරට ආරම්භ වන්නේ මෙම මැතිවරණය තුළ ය. ඒ අනූව මැතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම 1947 ජූලි මස 26 දින සිදු වූ අතර අලියා, පාපැදිය, නිවස, සමනලයා, යතුර, කණ්ණාඩිය, කුරුල්ලා, රෝදය, ඔරලෝසුව, ලාම්පුව, පුටුව, ගුවන්යානය, ඇසල හා හැන්ද මැතිවරණය සඳහා ඉදිරිපත් වූ පක්ෂවල අපේක්ෂකයන්ගේ හා ස්වාධින අපේක්ෂකයන්ගේ ඡන්ද ලාංඡනවලින් කීපයකි. 1947 මහා මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්දදායකයින් 3,048,145ක් සුදුසුකම් ලබා සිටි අතර, ඉන් 56.10%ක ප්‍රමාණයක් තම ඡන්දය භාවිතා කරන ලදි.
මෙම මැතිවරණයෙන් පාර්ලිමේන්තු ආසන 42 ක් දිනා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් විය. නමුත්, එම ප්‍රමාණය ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ප්‍රමාණවත් වූයේ නැත. මේ හේතුවෙන් ඔවුන් ආසන 7 ක් දිනා සිටි සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය සමග එකතුව නව ආණ්ඩුව ගොඩ නගන ලදි. ඡන්ද ප්‍රතිඵල අනුව පක්ෂ අතරින් දෙවැනියට වැඩි ම ආසන ප්‍රමාණයක් එනම්, ආසන 10 දිනා සිටි ලංකා සම සමාජ පක්ෂය පාර්ලිමේන්තුවේ විපක්ෂය බවට පත් විය. ප්‍රතිඵල අනුව ආසන 6ක් දිනා ගන්නා ලංකා ඉන්දියානු කොංග්‍රසය හතරවන ස්ථානටත්, ආසන පහක් දිනාගන්නා බොල්ෂෙවික් ලෙනින් පක්ෂය පස්වන ස්ථානටයත් (බොල්ෂෙවික් සමසමාජ පක්ෂය), ආසන තුනක් දිනාගන්නා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හයවන ස්ථානයටත් හා එක් ආසනයක් දිනාගන්නා ලංකා කම්කරු පක්ෂය හත්වන ස්ථානයටත් පත් විය. ඒ අනුව ඩී.එස්. සේනානායක මහතා මෙරට ප්‍රථම අගමැතිවරයා බවට පත් විය.
1947 මැතිවරණයේ දී සහ ඉන් පසුව සිදුවූ විශේෂිත සිදූවීම් ද කීපයක් මෙහිදී සඳහන් කිරීම වැදගත් වේ. 1947 මහ මැතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂයෙන් අවිස්සාවේල්ල අසුන ජයගත් වමේ ව්‍යාපාරයේ ක්‍රියාකාරී නායකයකු වූ පිලිප් ගුණවර්ධන මහතා 1947 මහා වැඩ වර්ජනයේදී ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාට අයත් සවුත් වෙස්ටර්න් ට්‍රාන්ස්පෝර්ට් සමාගමේ සේවකයන් සම්බන්ධ කර ගනිමින් දැවැන්ත වැඩ වර්ජනයක් මෙහෙය වූ අතර ඔහු ඇතුළු එම සමාගමේ වෘත්තීය සමිති නායකයන් කීපදෙනකුටම සිරදඬුවම් නියම විය. ගුණවර්ධන මහතාගේ ප්‍රජා අයිතිය ද වසර 07 කට අත්හිටුවීම නිසා ඒ මහතාට අවිස්සාවේල්ල අසුන අහිමි විය. අවිස්සාවේල්ල අසුන සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට නාමයෝජනා කැඳවීම 1948 අප්‍රේල් 19 වැනිදා සිදුවූ අතර ලංකා සම සමාජ පක්ෂයේ අපේක්ෂිකාව ලෙස පිලිප් ගුණවර්ධන මහතාගේ බිරිඳ කුසුමා ගුණවර්ධන මහත්මිය නාමයෝජනා භාර දුන්න ද වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකින් හෝ ස්වාධීන අපේක්ෂකයකු නාමයෝජනා භාර නොදුන් නිසාවෙන් ගුණවර්ධන මහත්මිය අවිස්සාවේල්ල මන්ත්‍රීවරිය ලෙස නිතරගයෙන් තේරී පත් වූවාය. එම අවස්ථාව නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අතුරු මැතිවරණය ලෙස ඉතිහාසයට එක් විය.
තවද, 1947 සෝල්බරි ව්‍යවස්ථාව යටතේ “ලංකා පාර්ලිමේන්තු මැතිවරණ රාජාඥාවක්” පනවා ඡන්දයට වියදම් කළ මුදල් ගැන වාර්තාවක් ඡන්දය අවසන් වී දෙමාසයක් තුළ මැතිවරණ තේරීම් භාර නිලධාරියාට ලබා දිය යුතු යැයි ආඥාවක් පැනවිණි. මහ මැතිවරණයේදී ද මැතිවරණ වියදම් ගැන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය. 1947 මහ මැතිවරණයේදී නුවරින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ජෝර්ජ් ඊ. ද සිල්වාට එරෙහිව ටී.බී. ඉලංගරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේ ය. ඒ, ජෝර්ජ් ඊ. ද සිල්වා මහතාගේ මැතිවරණ වේදිකාවේ කථිකයෙක් ටී.බී. ඉලංගරත්න මහතාට “රැකියාවේ යෙදී සිටිද්දී පගා ගැහුවේ යැයි” අපහාස කළ නිසාය. ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩුව ඔප්පු වූයෙන් ජෝර්ජ් ඊ. ද සිල්වා මහතාට නුවර ආසනය අහිමි වූ අතර හිස් වූ ආසනයට පැවැත් වූ අතුරු මැතිවරණයෙන් ටී.බී. ඉලංගරත්න මහතා ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට ආවේය. ටී.බී. ඉලංගරත්න මහතාට එරෙහිව එවර පරාද වූ අපේක්ෂක ෆෙඩි සිල්වා ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළේය. ටී.බී. ඉලංගරත්න මහතා කළේ පැමිණිලිකාර ෆෙඩි සිල්වා එම ඡන්දයේදී ෆෙඩිගේ කතාවක් පරිවර්තනය කළ පරිවර්තකයාට රුපියල් 25 ක් ගෙවූ බව මැතිවරණ වියදම් ලැයිස්තුවේ සඳහන් කර නැති බව ඔප්පුකර පෙන්වීමය. ඒ හේතුවෙන් පැමිණිලිකරු වූ ෆෙඩි සිල්වාගේ ප්‍රජා අයිතිය වසර තුනකට තහනම් කෙරිණි. 1947 සිට ක්‍රියාත්මක වූ ඡන්දයට කරන වියදම් හෙළි කිරීම පිළිබඳ රාජඥාව 1988 දී සමානුපාතික නියෝජන ඡන්ද ක්‍රමය යටතේ පැවැත් වූ මැතිවරණයත් සමග අහෝසි විය.
1947 වර්ෂයේ මැතිවරණයෙන් පසුව මෙරටට නිදහස ලබා දීම පිළිබඳ කටයුතු කෙරෙන බව මැතිවරණයට පෙර ම ප්‍රකාශයට පත් කරන ලදි. 1947 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කොට ඩී.එස්. සේනානායක මහතා අගමැති තනතුරට පත් වීම බ්‍රිතාන්‍යයන්ගේ සතුටට හේතුවූ බව සඳහන් කළ යුතුය.
18 දෙනෙකුගෙන් සමන්විත පළමු කැබිනට් මණ්ඩලය අගමැති ඩී.එස්. සේනානායක මහතා විසින් පත් කරන අතර, එහි ආරක්ෂක හා විදේශ කටයුතු පිළිබඳ ව ඇමතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ඩී.එස්. සේනානායක මහතා ම ය. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාදා ගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගිය එස්.ඩබ්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතා මෙම ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස දිවුරුම් දෙනු ලබයි. ජේ.ආර්. ජයවර්ධන මහතා මුදල් ඇමතිවරයා ලෙසත්, සර් ජෝන් කොතලාවල මහතා ප්‍රවාහන ඇමතිවරයා ලෙසත්, ටි.බි. ජායා මහතා කම්කරු ඇමතිවරයා ලෙසත් හා ඩඩ්ලි සේනානායක මහතා කෘෂිකාර්මික ඇමතිවරයා ලෙසත් කටයුතු කරන ලදි.
නව අගමැති වශයෙන් ඩී.එස්. සේනානායක මහතා බ්‍රිතාන්‍යයන් සමඟ ආරක්ෂක කටයුතු ගිවිසුමක් ඇති කර ගන්නා ලදි. එම ගිවිසුම අනුව ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් බ්‍රිතාන්‍යයන් කටයුතු කිරීමට එකඟ වූ අතර අවශ්‍ය අවස්ථාවක ලංකාවේ වරාය, ගුවන්තොට ඇතුළු ස්ථාන බ්‍රිතාන්‍යයන්ගේ යුද්ධ කටයුතු සඳහා භාවිතා කිරීමටද ඉඩ ලැබුණි. එම ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව ලංකාවට නිදහස ලබා ගැනීම පිළිබඳ විධි විධාන ඇතුළත් ලංකා ස්වාධීන පනත 1947 වසරේ නොවැම්බර් මාසයේ දී බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදි. රජුගේ නියමය පරිදි 1948 වසරේ පෙබරවාරි මස 04 වන දින සිට එම පනත ක්‍රියාත්මක විය.
1952 මාර්තු මාසයේ දී ඩි.එස්. සේනානායක මහතා අසු පිටින් වැටි මියගිය පසු ව ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක මහතා අගමැතිවරයා බවට පත්ව, මෙම කැබිනට් මණ්ඩලය වෙනස් කරන තුරු ඩි.එස්. සේනානායක මහතාගේ කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක විය.
එම්. තාරික්