භීෂණයෙන් ඇලළී ගිය ප්‍රථම සමානුපාතික මහමැතිවරණය 1989 වසරේදී පැවැත්විය. 1977 කේවල ක්‍රමයේ පැවති අවසන් මැතිවරණය පැවැත් වූ අතර, එම මැතිවරණයෙන් 5/6ක බලය එක්සත් ජාතික පක්ෂය මඟින් දිනා ගන්නා ලදි.
ශ්‍රී ලංකාවේ පැවති ප්‍රධාන මැතිවරණ ක්‍රම දෙක වූයේ සරල බහුතර නියෝජන ක්‍රමය සහ සමානුපාතික නියෝජන ක්‍රමයයි. සරල බහුතර නියෝජන ක්‍රමය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවේ මහජන නියෝජිතයන් තෝරාගැනීම සඳහා තිබූ මැතිවරණ ක්‍රමය විය. නමුත් 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී සරල බහුතර නියෝජන ක්‍රමයේ අවාසි මඟහරවා ගැනීමට සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දුනි. සරල බහුතර නියෝජන ක්‍රමයේ පැවති ප්‍රධාන ගැටලුව වූයේ බහුතරයක් දෙනාගේ මතය ඡන්ද ප්‍රතිඵලය තුළ නියෝජනය නොවීමයි. සරල බහුතර නියෝජන ක්‍රමයේදී මුළු දිවයිනම කුඩා ඡන්ද කොට්ඨාස ගණනාවකට බෙදන අතර, එම කුඩා ඡන්ද කොට්ඨාසවලින් බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබාගන්නා අපේක්ෂකයා මන්ත්‍රීවරයා ලෙස තේරී පත්වීමයි.
ජේ. ආර්. ජයවර්ධන මහතා 1978 දී ක්‍රියාත්මක කළ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පැවති කේවල ඡන්ද ක්‍රමය අහෝසි වූ අතර, දිස්ත්‍රික් පදනම් කරගත් කොට්ඨාස ක්‍රමයක් මත සමානුපාතික මැතිවරණ ක්‍රමයක් අලුතින් ආරම්භ විය. මෙම ක්‍රමයේ මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 225ක් වූ අතර, ඉන් 196ක් දිස්ත්‍රික්ක පදනම යටතේද, 29ක් ජාතික ලැයිස්තුවෙන් ද පත්වීම සිදු වේ. පෙර පැවති ඡන්ද කොට්ඨාස 160 මැතිවරණ බලප්‍රදේශ ලෙස තවදුරටත් නම් විය. ඒ අනුව මේ වන විට සමානුපාතික මැතිවරණ 8ක් පවත්වා ඇති අතර, 2024 නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වෙන්නේ 09 වැනි මහමැතිවරණයයි. 1989 පෙබරවාරි 15 වැනිදා මහමැතිවරණය 1994 අගෝස්තු 16 වැනි දා මහමැතිවරණය, 2000 ඔක්තෝබර් මස 10 වැනිදා මහමැතිවරණය, 2001 දෙසැම්බර් 05 වැනිදා මහමැතිවරණය, 2004 අප්‍රේල් මස 02 වෙනිදා මහමැතිවරණය, 2010 අප්‍රේල් මස 8 වැනිදා මහමැතිවරණය, 2015 අගෝස්තු 17 වැනිදා මහමැතිවරණය සහ 2020 අගෝස්තු මස 05 වැනිදා මහමැතිවරණය එම මැතිවරණ 08යි.
භීෂණයෙන් ඇලළී ගිය ප්‍රථම සමානුපාතික මහමැතිවරණය 1989 වසරේදී පැවැත්විය. 1977 කේවල ක්‍රමයේ පැවති අවසන් මැතිවරණය පැවැත් වූ අතර, එම මැතිවරණයෙන් 5/6ක බලය එක්සත් ජාතික පක්ෂය මඟින් දිනා ගන්නා ලදි. එම අතිවිශේෂ බලයෙන් ඒ ආකාරයෙන්ම තවත් වසර 6ක් ලබාගැනීම සඳහා ජේ. ආර්. ජයවර්ධන 1982 දී ජනමත විචාරණයක් පවත්වා පාර්ලිමේන්තු නිල කාලය 1983 සිට තවත් වසර 06 කට දීර්ඝ කර ගත්තේය. ඒ අනුව 1989 පෙබරවාරි 15 වැනි දින මහමැතිවරණය පවත්වන ලද්දේ වසර 12කට පසුවයි. 1978 සම්මත කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණය පැවැත්වීමට සමානුපාතික ඡන්ද ක්‍රමය මත සිදු කිරීමේ විධි විධාන යෙදුණි. මේ අනුව සමානුපාතික ඡන්ද ක්‍රමය මත පැවති පළමු මහමැතිවරණය 1989 මහමැතිවරණයයි.
කේවල ඡන්ද ක්‍රමය මත පැවති ඡන්ද කොට්ඨාස 168ක් ඒ අයුරින්ම නාමිකව පැවති අතර, මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225ක් දක්වා පළමු වරට වැඩි වූයේ මෙම මැතිවරණයේදීය. 225න් 196ක් දිස්ත්‍රික්ක මට්ටමෙන් ඒ ඒ පක්ෂ ලබා ගන්නා ඡන්ද අනුපාතය මත තෝරාගන්නා අතර, පක්ෂ ලේකම්වරුන් මැතිවරණයට පෙර මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන ජාතික ලැයිස්තුවෙන් 29 දෙනෙක් පත් කරනු ලබයි. එය තෝරාගනු ලබන්නේ ජාතික වශයෙන් ඒ ඒ පක්ෂ ලබාගන්නා ඡන්ද අනුපාත පදනම් කරගෙනයි. ඡන්දය දුන් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් කිසියම් පක්ෂයක් 5% කට අඩුවෙන් ඡන්ද ලබාගත්තේ නම්, එම පක්ෂයට මන්ත්‍රී ධුරයක් හිමි නොවේ. 1989 ප්‍රථම සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ මහමැතිවරණය සඳහා 1988 දෙසැම්බර් මස 30 වැනි දා සිට 1989 ජනවාරි 06 දක්වා නාමයෝජනා භාර ගත් අතර, මැතිවරණය පෙබරවාරි 15 වැනිදා පැවැත්විය යුතු යැයි ප්‍රකාශයට පත්විය. මෙම මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ නවයක් ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් 1396ක් මන්ත්‍රී ධුර 196ක් වෙනුවෙන් ඉදිරිපත් විය. 1988 පැවැති පළාත් සභා මැතිවරණයේදී සහ ජනාධිපතිවරණය ආරම්භයේදී හටගත් භීෂණකාරී නොසන්සුන් වාතාවරණය පාර්ලිමේන්තු මැතිවරණ කාලය තුළද වර්ධනය වූ අතර, තහනම් කරන ලද ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළ ඡන්ද වර්ජන ව්‍යාපාරය වඩාත් උත්සන්න මට්ටමකට පත්විය. දේශප්‍රේමී සන්නද්ධ බළකායෙන් ඒකාබද්ධ අණදෙන මූලස්ථානය නමින් විවිධ නියෝග නිකුත් වූ අතර, එම නියෝග කඩ කරන්නන් මරා දමන ලදි. මැතිවරණ සමයේ රටේ භීෂණකාරී වාතාවරණය උත්සන්න වන විට මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් ගණනාවක් මරා දැමුණි. ඔවුන් බහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ වාමාංශික පෙරමුණේ අපේක්ෂකයෝ වූහ. මාතර, සරත් සෝමපාල රත්නායක, කළුතර – ඉන්ද්‍රපාල අභයතිලක, කළුතර – විජයලාල් මෙන්ඩිස්, මාතර – ඒ. එම්. හුසෙන්, පොළොන්නරුව – රංජිත් ගාමිණි ජයසේන, බදුල්ල – ජී. බී. රත්නායක, කෑගල්ල – හෙක්ටර් ජයසිංහ, ගාල්ල – සෝමපාල අමරකීර්ති, මහනුවර – නිශ්ශංක කරුණාතිලක – කුරුණෑගල ආර්. ඩී. ජයවීර, කළුතර – සෝමදාස ගන්කන්ද යන අපේක්ෂකයන් නාඳුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කරන ලදි.
මැතිවරණයේ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික්ක මට්ටමින් මන්ත්‍රිධුර 110ක් ද ජාතික ලැයිස්තුවෙන් 15ක්ද වශයෙන් මන්ත්‍රී ධුර 125ක් ලබා ජයග්‍රහණය ලබාගත් අතර, 1989 පෙබරවාරි 18 වැනි දින 20 දෙනකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්කර රණසිංහ ප්‍රේමදාස මහතා ආණ්ඩුව පිහිටුවන ලදි. අගමැති හා මුදල් ඇමති වශයෙන් ඩී. බී. විජේතුංග මහතා පත්විය. මීට අමතරව රාජ්‍ය අමාත්‍යවරු 50ක් කැබිනට් මණ්ඩලයට අයත් නොවන අමාත්‍යවරු 29ක් ද පත් කළහ. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගෙන් එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 15 ක් අයත් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 09ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට, සමාජවාදී පෙරමුණට, ස්වාධීන කණ්ඩායමට මන්ත්‍රී ධුරය බැගින් ද හිමි විය. මෙම මැතිවරණයේදී යාපනය, වන්නි මඩකලපුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක හතර හැර සියලුම දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂය විසින් දිනා ගන්නා ලද අතර, වන්නි මඩකලපුව දිස්ත්‍රික්ක දෙක ද්‍රවිඩ එක්සත් පෙරමුණද, යාපනය ස්වාධීන කණ්ඩායමක් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින්ද දිනාගන්නා ලදි.
නමුත් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද භාවිතා කර තිබුණේ 63% ක් පමණි. ජාතික මැතිවරණ වශයෙන් මෙතෙක් පැවැති මහමැතිවරණවලදී අඩුම ඡන්ද ප්‍රතිශතය ප්‍රකාශ වූයේ මෙම මැතිවරණයේදීය. එදා පැවැති භීෂණකාරී තත්ත්වය ඡන්ද ප්‍රතිශතය අඩු වීමට ප්‍රධාන සාධකයක් විය. මෙම මැතිවරණයෙන් පසුවද දේශපාලන ඝාතන ගණනාවක් සිදුවිය. එවක ජනාධිපති ධුරය දැරූ රණසිංහ ප්‍රේමදාස මහතාට විරුද්ධව දෝෂාභියෝගයක් මන්ත්‍රීවරුන් 47 දෙනෙකුගේ අත්සනින් යුතුව එවක කථානායකවරයා වශයෙන් කටයුතු කළ එම්. එච්. මොහොමඩ් මහතාට ඉදිරිපත් කළ අතර, ඔහු එය පිළිනොගත්තේය. එහිදී නායකත්වය ගත් ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, ජී. එච්. ප්‍රේමචන්ද්‍ර ඇතුළු ඉහළ පෙළේ අමාත්‍යවරු අටදෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හරින ලදි. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නමින් නව පක්ෂයක් ගොඩනැඟීය. 1993 අප්‍රේල් මස 23 වැනිදා කොළඹ කිරුළපන ප්‍රදේශයේ පැවති රැලියකදී ලලිත් ඇතුළත්මුදලි මහතා වෙඩි තබා ඝාතනය කෙරුණු අතර, 1993 මැයි පළමු වෙනිදා ආමර්වීදියේ පැවැති මැයි දින රැලියකදී රණසිංහ ප්‍රේමදාස මහතා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ඝාතනය කෙරුණි. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය ඩී.බී. විජේතුංග මහතා ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව තෝරාපත් කරගත් අතර, අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත් විය.
රුවන් පුෂ්ප කුමාර