1953 වනවිට අගමැති ධුරයේ සිටියේ ඩඩ්ලි සේනානායක මහතාය. හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් නිසා ඔහු ඉල්ලා අස්වීමට තීරණය කළ අතර, ඔහුගේ අනුප්‍රාප්තිකයා කවුද යන ගැටලුව ඊළඟට මතුවිය. ඒ සඳහා සුදුස්සා ජේ.ආර්. ජයවර්ධන බව අගමැතිවරයාගේ නිගමනය විය. එහෙත් පක්ෂය අභ්‍යන්තරයේ මෙන්ම අගමැතිවරයාගේ සමීපතමයන්ගෙන් ද ඒ සඳහා යම් විරෝධතා එල්ල වෙමින් පැවැතුණි. රටෙහි ඒ වනවිට පැවැති තත්ත්වය මත ජේ.ආර්. ජයවර්ධන අභියෝග රැසකට මුහුණ දී සිටියේය. විශේෂයෙන්ම රජය අපහසුතාවට ලක් කළ 1953 හර්තාලයට ඔහු විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය බලපෑ බවට චෝදනාවක් විය. මේ අයවැයෙන් රටේ ජනතාව මහත් අපහසුතාවට පත්කළේය. එමෙන්ම ඒ නිසා හටගත් හර්තාලයෙන් රජයට විශාල අපකීර්තියක් නිර්මාණය විය.
ඒ අනුව අගමැති ධුරය සඳහා ජේ.ආර්. ජයවර්ධනට ඉඩකඩ ඇහිරෙමින් තිබිණි. ඊළඟට බොහෝ දෙනා එකඟ වූයේ කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨතමයා වූ සර් ජෝන් කොතලාවලට අවස්ථාව ලබාදීමටය. මෙහිදී ප්‍රධාන වශයෙන්ම හේතු දෙකක් බලපා තිබූ බව කියවේ. එකක් වූයේ ජෝන් කොතලාවලගේ වැඩිමහල් සොයුරිය වූ ෆ්‍රීඩා කොරයා සහ අගමැතිවරයා අතර තිබූ සමීප සම්බන්ධයය. අනෙක් කරුණ වූයේ ආර්.ජී. සේනානායකගේ සොහොයුරිය වූ නීලා සේනානායක ජේ.ආර්. සමඟ තිබූ ගැටුමය.
මේ අතරම ඩඩ්ලි සේනානානායකගේ සෞඛ්‍ය තත්ත්වය තවත් අහිතකර වූ අතර ඔහු විවේකය සඳහා නුවරඑළිය බලා පිටත් විය. මේ වනවිට ජේ.ආර්. සැලකුණේ ඩඩ්ලි සේනානායකගේ සමීපතමයකු ලෙසය. එහෙත් අගමැතිවරයාගේ නුවරඑළි ගමන සහ සෙසු තීරණ ගැන ඩඩ්ලි, ජේ.ආර්. දැනුම්වත් කර නොතිබිණි. තමාට ඒ පිළිබඳ නොදැන්වීම පිටුපස කුමන්ත්‍රණයක් තිබූ බව ජේ.ආර්. ජයවර්ධන තම දිනපොතේ සටහන් කර තිබේ. එමෙන්ම ජෝන් කොතලාවල ගැන ජනතා ප්‍රසාදය ඇතිවන ආකාරයටත්, ජේ.ආර්. ජයවර්ධන අපහසුතාවට පත්වන ලෙසටත් කටයුතු සැලසුම් කෙරිණි.
“ඩඩ්ලි අසනීප වී දින කිහිපයක නිවාඩුවක් සඳහා නුවරඑළියට යාමත් සමඟ කොළඹ කුමන්ත්‍රණය ඇරඹිණි. එම කුමන්ත්‍රණයේ අරමුණ වූයේ ඩඩ්ලි නැති අතරතුරේ දී සහල් මිල අඩුකර කැබිනට් මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කළ සර් ජෝන්ට එහි සම්පූර්ණ ගෞරවය ලබාදීමයි.”
මේ අනුව ඔක්තෝබර් 12 වැනි දින සිට හාල් සේරුවක මිල ශත 55කින් පහත හෙළිණි. එම අඩු කිරීමට ජේ.ආර්. ජයවර්ධන විරුද්ධවූ බවට ද “ටයිම්ස් ඔෆ් සිලෝන්” පුවත්පත හෙළිදරව් කළේය. සත්‍ය වශයෙන්ම එවැනි විරෝධයක් ජයවර්ධන මහතා ගොනු කර නොතිබිණි. ඒ සම්බන්ධයෙන් ජයවර්ධන මහතා කර්තෘවරයාගෙන් විමසීමක් කිරීමට කටයුතු කළේය. එහිදී අනාවරණය වූයේ කර්තෘවරයා තමාට ලැබුණු උපදෙසක් මත පළකළ බව ය. ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් නෛතිකව ගතහැකි ක්‍රියාමාර්ග අසාර්ථක වන බව පෙනුණු හෙයින් ජේ. ආර්. ජයවර්ධනට සිදුවූයේ තම වේදිකාවල එම අසත්‍ය ප්‍රවෘත්තිය නිවැරදි කර ගැනීමට කටයුතු කිරීමය. කෙසේ වෙතත් එම ප්‍රයත්නය ඔහු අපේක්ෂා කළ තරම් සාර්ථක නොවිණි.
මේ රහස් කුමන්ත්‍රණ සමඟින් ජෝන් කොතලාවල මහතා අගමැති ධුරයට පත්විය. ඔහුගේ කැබිනට් මණ්ඩලයේ කෘෂිකර්ම අමාත්‍ය ධුරය ජයවර්ධන මහතාට හිමිවිය. පෙර ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරය හෙබ වූ ජේ.ආර්.ට නව අමාත්‍ය ධුරය මදි පුංචිකමක් විය. කෙසේ වෙතත් ඔහු තනතුර භාරගෙන කටයුතු කිරීමට තීරණය කළේය. ඒ එකඟතාවත් සමඟ ජේ.ආර්. – කොතලාවල සම්බන්ධය යහපත් වෙමින් තිබිණි. මේ වනවිට පක්ෂය බාහිරින් නොයෙක් සටන් පාඨ මතු වෙමින් තිබුණු අතර අභ්‍යන්තරයේ ද විවිධ ගැටුම් ඇතිවිය. එහිදී ආර්.ජී. සේනානායක – ජේ.ආර්. ගැටුම කරළියට පැමිණෙමින් තිබිණි.
මේ වනවිට හිටපු අගමැති ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ ක්‍රියා සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල කළේය. මෙහි උග්‍ර අවස්ථාව වූයේ ආණ්ඩුවේ අමද්‍යප ප්‍රතිපත්තිය යි. තවද අගමැති කොතලාවල යාපනයේ දී විවාදාත්මක කතාවක් කළේය. එහි දී තමා මහමැතිවරණයෙන් පසු යළි අගමැතිවරයා බවට පත්වුවහොත් සිංහල සහ දෙමළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂා ලෙස පිළිගන්නා බව කීවේය. එම ප්‍රකාශයෙන් පක්ෂය අභ්‍යන්තර ගැටුම තවත් උග්‍රවිය. මෙහිදී ඩඩ්ලි සහ ජේ.ආර්. තදින් ගැටුණේය. ඒ සමඟම සේනානායක බලය ගිලිහෙමින් තිබීම මත ආර්.ජී. ආණ්ඩුවට එරෙහි විවිධ මත පළ කළේය.
විටක උග්‍ර භාෂාප්‍රේමියකු ලෙස සැලකුණු ආර්. ජී. විසින් කොතලාවල විවේචනය කරන ලදි. ජේ. ආර්. ජයවර්ධන ද ආර්. ජී.ට එරෙහිව කටයුතු කළේය. මේ අභ්‍යන්තර ගැටුම් මැද ආර්. ජී. සේනානායක ඇමැති මණ්ඩලයෙන් අස්විය.
මේ සමගම මහමැතිවරණය ප්‍රකාශයට පත් කෙරිණි. එහිදී ආර්. ජී. සේනානායක ස්වාධීනව දඹදෙණිය ආසනයට තරග කිරීමට සූදානම් විය. මහාමැතිවරණයට නාම යෝජනා ලබාදීමට පෙර කැලණිය ප්‍රදේශයේ පැවති රැස්වීමක දී ජේ. ආර්. ජයවර්ධන, ආර්. ජී. අභියෝගයක් කළේය. ඒ හැකිනම් කැලණියට පැමිණ තමන් සමඟ තරග කර ජය ලබා ගන්නා ලෙසය.
එම අභියෝගය ආර්. ජී. සේනානායක භාර ගත්තේය. ඒ අනුව ස්වාධීන අපේක්ෂකයකු ලෙස දඹදෙණියට අමතරව කැලණියට ද තරග කරන බව ප්‍රකාශ කළ ඔහු ඒ සඳහා නාම යෝජනා බාර දුන්නේය. මෙහිදී අදහස් දැක්වූ ආර්. ජී. සේනානායක කියා සිටියේ ජේ. ආර්. ජයවර්ධන සමඟ තමාට කිසිම පෞද්ගලික තරහක් නොමැති බවය. නමුත් ජේ. ආර්. ජයවර්ධන කැලණියෙන් පරාජය කර පාර්ලිමේන්තු වරම අහිමි කිරීම ඔහුගේ එකම අරමුණ බව ද ප්‍රකාශ කළේය.
මින් පසු ඇරඹෙන ජේ. ආර්. ජයවර්ධන සහ ආර්. ජී. සේනානායක අතර සටන ‘කැලණි සටන’ ලෙස ප්‍රකට විය.
කැලණි මැතිවරණ සටන ගැන මුළු රටේම අවධානය යොමුවිය. කැලණි මැතිවරණ සටන ආරම්භයේ සිටම දැඩි වාග් ප්‍රහාරවලින් යුතු විය. ජේ.ආර්. මෙන්ම ආර්.ජී. තරගයට එකිනෙකාට එරෙහි ප්‍රචාර දියත් කළේය. ඒවා අසත්‍ය ලෙස පසුව හෙළි වුවද මැතිවරණ සමයේ උණුසුම් මාතෘකා විය. එහිදී ජයවර්ධන මහතා විසින් කළ එක් චෝදනාවක් වූයේ ආර්.ජී. ගේ මැතිවරණය සඳහා ඇප තැන්පත් කළේ කැලණි විහාරයේ නායක හිමි බවයි. එසේම මැතිවරණ වැඩ කටයුතු සිදුකිරීමට උන්වහන්සේ ආර්. ජී. සේනානායකට රුපියල් 60,000ක් ලබාදීමට පොරොන්දු වී සිටින බව ජේ. ආර්. ජයවර්ධන වැඩිදුරටත් කියා තිබිණි. ඉන් පසුව ජේ. ආර්. ජයවර්ධන කියා සිටියේ මුදල් නැත්නම් ඔහු වෙනුවෙන් වියදම් කිරීමට තමා සූදානම් බවය. ජේ. ආර්.ගේ මේ ප්‍රකාශයෙන් උරණ වුණු ආර්. ජී. සේනානායකගේ අනුගාමිකයෝ සිය අපේක්ෂකයා වෙනුවෙන් මුදල් එකතු කළහ. මේ අතරතුර ආර්.ජී. සේනානායක කියා සිටියේ ජේ.ආර්. යනු මිඩ්ලන් පප්පෙක් බවත්, මැතිවරණයෙන් පසුව ජේ.ආර්.ගේ හුළං බස්සවන බවත් ය.
මේ ප්‍රකාශයෙන් පසුව කැලණියේ ස්ථාන රැසක දී මිඩ්ලන් පප්පලාගේ පිළිරූ දැකගැනීමට හැකිවිය. දිනෙන් දින එම පිළිරූවල හුළං අඩුවන ආකාරයට සකසා තිබීම ද විශේෂත්වයක් විය. මැතිවරණයේදී ආර්. ජී. සේනානායකගේ ඡන්ද ලකුණ වුණේ කුඩයයි. කැලණියේ ජනතාව ආර්. ජී. ට සහාය පතා ආලෝකවත් කරන ලද කුඩයක් නිවෙස ඉදිරිපිට එල්ලීමටත් කටයුතු කළේය.
එක් අවස්ථාවක කඩවත නගරයේ පැවැත්වූ රැස්වීමක් අමතමින් ජේ.ආර්. ජයවර්ධන මහතා ආර්.ජී.ද්‍රෝහියකු බව කියා සිටියේය. එපමණක් නොව ආර්.ජී. සේනානායකට එක්සත් ජාතික පක්ෂය පමණක් නොව මුළු රටම ගිනි තැබීමට අවශ්‍යව ඇති බව ද කීවේය.
මැතිවරණ දිනය ආසන්න වෙමින් තිබියදී ආර්.ජී. ගේ මව වූ ඇලන් සේනානායක මහත්මිය බරපතළ ලෙස රෝගී වූවාය. මේ නිසා ඡන්ද සටන අතරමග නවතා දැමූ ආර්. ජී. සේනානායක, සිය මව ගැන සොයා බැලීමට වැඩි කාලයක් යෙදවීය. තත්ත්වය තම වාසියට හරවාගත් ජේ. ආර්. ජයවර්ධන කියා සිටියේ ආර්.ජී. මැතිවරණ සටන අතහැර ඇති බවය. මේ ප්‍රකාශය ජේ.ආර්. ට යහපත් ලෙස බලපෑවේ නැත. අවසානයේ උරණ වූ ආර්.ජී. ගේ පාක්ෂිකයෝ ආර්.ජී. හමුවී කැලණියේ මැතිවරණ කටයුතු වලට නැවතත් සෘජුව දායක වන ලෙස ඉල්ලා සිටියහ. එහෙත් මව අතහැර පැමිණීමට නොහැකි බව ප්‍රකාශ කළ ආර්.ජී. තමා වෙනුවට බිරිය මැතිවරණ සටන සඳහා යොමු කළේය. ඒ අනුව එතැන් පටන් කැලණි සටනට නායකත්වය දුන්නේ ආර්.ජී. සේනානායක ගේ බිරිය වූ එරින් සේනානායකය.
කැලණි කොට්ඨාසයේ ඡන්ද ගැනීම සිදුවූයේ 1956 අප්‍රියෙල් 10 වැනිදාය. එදින ආර්.ජී. සේනානායක මහතාගේ ජයග්‍රහණය ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබිණි. ඡන්ද දායකයෝ කච්චේරි භූමියේ පිරී සිටි අතර ප්‍රතිඵල නිකුත්වීමත් සමඟම ඔවුහු මහත්වූ අමන්දානන්දයට පත්වූහ. ජයග්‍රාහකයන් වෙනුවෙන් ප්‍රීතිඝෝෂාත්, පරාජිතයන් වෙනුවෙන් හූ හඬත් කච්චේරි භූමියම වෙලා තිබිණි. මේ පරාජය හමුවේ පීඩා රැසකට මුහුණ දීමට ජේ.ආර්. ජයවර්ධන මහතාට සිදුවිය. ඇතැම් ඒවා ශාරීරික විය. වාහනයට ද පහර දුන්නේය. කෙළ ගැසුවේය. කුණු වූ පලතුරු, පොල් ලෙලිවලින් පහර දුන්හ. අවසානයේ ජේ.ආර්.ට නිවෙස කරා යන්නට වූයේ පොලිස් ආරක්ෂාව සහිතවය. එලෙස 1956 කැලණි සටන නිම විය.
මැතිවරණ ජයග්‍රහණය කළ ආර්. ජී. සේනානායක මහතාට 22,836ක් තරම් වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිවිය. එහිදී ආර්. ජී. සේනානායක ඡන්ද 37,023 ලබා ගන්නා විට, ජේ.ආර් ජයවර්ධන මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 14,187ක් පමණි. දඹදෙණිය ආසනය ද ආර්. ජී. සේනානායක වැඩි ඡන්ද 24,907කින් ජයග්‍රහණය කරන ලදි. ඒ අනුව එකම මැතිවරණයකදී ආසන දෙකක් ජයග්‍රහණය කරමින් ආර්. ජී. සේනානායක ලංකා මැතිවරණ ඉතිහාසයේ වාර්තාවක් ද පිහිටුවූවේය.
මලික් චමින්ද ධර්මවර්ධන