දකුණේ පිහිටි ඓතිහාසික, සුන්දර ස්වාභාවික සංවේදී පරිසර පද්ධතියක් වූ ගාල්ල, උණුවටුන, රෑමස්සල ශ්‍රී ලාංකීය උරුමය මේ වනවිට විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් පරිසර කමිටුවේ දී අනාවරණය විය. ගාල්ල දිසා ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේ දී මේ බව දැඩිව අවධාරණයට ලක් කළ ගාල්ල වරායෙහි ප්‍රධාන කළමනාකරු සරත් කුමාර මහතා, මේ පිළිබඳව වගකිව යුතු ආයතනවල හා පරිසර කමිටුවේ දැඩි අවධානය වහා යොමු කරන ලෙස ද ඉල්ලා සිටියේය.
දිනමිණ අප මේ ඓතිහාසික උණවටුන රූමස්සල රක්ෂිතය බැලීමට ගිය අවස්ථාවේදී දැක ගැනීමට හැකි වූයේ මේ ඓතිහාසික සංරක්ෂිත සංවේදී වන පියසෙහි ඇති ගහ කොළ තුරුලතා පුදුමාකාර ලෙස කපා පුලුස්සා දමා ඇති අයුරුයි. මේ භුමියට අයත් වෙරළාසන්නයේ පිහිටා ඇති පිරිසිදු ජලයෙන් යුතුව තිබූ ක්‍රිස්තු පූර්වයෙහි පැවති, ලෝකයේ ප්‍රධාන නාවික මාර්ගයේ ගමන් ගත් නැව්වලට අවශ්‍ය ජලය ලබා ගත් ළිඳ පවා අද ජරාජීර්ණ වී අවසන්ය. මෙහි වෙරළෙහි ඇති ස්ථාන දෙකක් දෙස් විදෙස් සංචාරකයින්ගේ සොඳුරු පාරාදීසයක් වී ඇත. ඉන් එකක් පෘතුගීසි වැල්ල ලෙස හැඳින්වේ. ඒ ලංකාවට අහම්බෙන් කඩා වැදුණු පෘතුගීසින් පළමු වරට පා තැබූ ස්ථානය බැවිනි. අනික හඳුන්වන්නේ ජංගල් බීච් වශයෙනි. එහි බිම්කඩ අයිතිය වරාය අධිකාරියටය. නමුත් මෙම ස්ථාන දෙකෙහිම වෙරළෙහි අයිතිය ඇත්තේ වෙරළ සංරක්ෂණයටය. අද එහි අනවසර ඉදිකිරීම් ය. වරාය අධිකාරියට මේ විනාශය නතර කිරීම තනිවම කළ නොහැක්කකි. වනජීවී කාර්යාලය පවසන්නේ රක්ෂිතයක් ලෙස ගැසට් කර ඇත්තේ මුහුද සහිත අක්කර 1000ක තීරයක් බවයි. නමුත් අප සංවේදී කලාපයක් ලෙසටත්, රක්ෂිතයක් ලෙසටත් රූමස්සල ගැන කතා කළ ද, එහි සැබෑ අයිතිකරුවන්, සීමා නිර්ණයන්, රක්ෂිතය සංවේදී කලාපයන් පිළිබඳව ඇත්තේ ගැටලුසහගත තත්ත්වයකි. මේ තත්ත්වය දැන හෝ නොදැන හෝ මේ වන විට කැලෑ පාළුවෝ මේ බිම්කඩෙහි ඇති වන සම්පත් සුන් කරති. මේ බිම්කඩෙහි සැබෑ අයිතිකරුවන් කවුරුන් වුවත් ඒ සියල්ලෝම තම තමන්ගේ වගකීම්වලින් මිදී ඇති බවක් පෙනේ.
දිසා ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේ දී, දිසා ලේකම්වරයා නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට එම රැස්වීමෙහි වනජීවී කාර්යාලය, වෙරළ සංරක්ෂණය, ප්‍රාදේශීය ලේකම්, ජල ජීවිය, නාගරික සංවර්ධන අධිකාරිය නොමැත.
මෙම රූමස්සල සොඳුරියගේ ජීවන ගමන සුරක්ෂිත කර දෙනු ඇතැයි අදාළ බලධාරීන්ගෙන් ජනතාව බලාපොරොත්තු වෙති.
ගාල්ල දිසා සමූහ නන්දසිරි වැලිගමගේ