Home » කැඩෙන සෙරෙප්පුවෙන් දිවිගෙවන්නෝ

කැඩෙන සෙරෙප්පුවෙන් දිවිගෙවන්නෝ

by sachintha
October 22, 2024 1:59 am 0 comment

මෙරට සෑම නගරයකම පාහේ පදික වේදිකාවෙන් පසෙක හෝ වීදි සමීපයේ පාවහන් අලුත්වැඩියාවේ නියැළෙන ශිල්පීන් දැකගත හැකිය. සිය ආම්පන්නත් සමඟ උදෑසන මහමඟට එන ඔවුහු විටෙක හිරු අවරට යන තෙක්ම ජීවන සටනෙහි යෙදී සිටිති. පාවහන් මෙන්ම කුඩ සහ ගමන්මලු ආදිය පිළිසකර කිරීමේ මාහැඟි හැකියාවෙන් ද මේ ශිල්පීහු සමත්කම් පෙන්වති. පාසල් දුවා දරුවන්ගේ සේම විවිධ රාජකාරි සඳහා යන එන ඇත්තන්ගේ පාවහන්, කුඩ, ගමන්මලු ආදිය මනා කොට අලුත්වැඩියා කරදීම ඔවුන්ගේ කාර්ය වී තිබේ. මේ අන්දමින් පාවහන් අලුත්වැඩියාවේ නියැළෙන ශිල්පීන් 35 දෙනකු පමණ අනුරාධපුර නගර සීමාවේ පමණක් සිටිති. අනුරාධපුර, දහයියාගම හන්දියේ සිට යාපනය හන්දිය දක්වා වූ ප්‍රදේශය තුළ මේ අන්දමින් විවිධ තැන්හි සිය වෘත්තියේ යෙදී සිටින පිරිස් දැකගත හැකිය. ඒ අතරින් කේ. කාලිදාස, එම්. නාගේන්ද්‍රන්, ඒ. අනීෂ් යන අය සෙරෙප්පුවෙන් දිවිගෙන යන තමන්ගේ ජීවිත කතාව පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

කේ. කාලිදාස

“මම වසර 10කට වැඩි කලක පටන් අනුරාධපුර තැපැල් කන්තෝරුව අසල සපත්තු මැසීමේ නිරත වෙනවා. ඇත්තටම මේ දවස්වල වැඩ අඩුයි. ගොඩක් මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ. ඉතින් අපිටත් අමාරුයි. සපත්තු මහගන්න එන අය කියන්නේ අලුත් එකක් ගන්න සල්ලි නැති හින්දා තමයි තියෙන එක මහගෙන දාන්නේ කියලා. ඒ හින්දා අඩුවට මහලා දෙන්න කියලා තමයි කියන්නේ. තාමත් සමහරු රුපියල් තිහ හතළිහට, පනහට හැටට තමයි සපත්තු මහගන්න හදන්නේ. නමුත් හැමදේම ගණන්. මටත් ඉස්කෝලේ යන දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් කොහොමද මීට අවුරුදු ගාණකට කලින් මහපු ගාණට දැන් සපත්තු මහන්නේ. සමහර දවස්වලට සල්ලි ටිකක් හම්බ වෙනවා. කීයක්වත් හම්බ වෙන්නැති දවසුත් තියෙනවා. ඉන්න ටිකේ සන්තෝෂෙන් ඉන්නවා. වෙන මොනව කරන්නද.”

එම්. නාගේන්ද්‍රන්

“මං වයස අවුරුදු දහයේ විතර කාලේ ඉඳන් සපත්තු මහන්න ඉගෙන ගත්තෙ. තාත්තා රස්සාව කරන්න යනකොට මාත් යනවා. ටික ටික බලන් ඉඳලා ඉගෙන ගත්තා. දැන් ඉතින් අවුරුදු හතළිහකට වැඩියි. තාත්තා ඉගෙනගෙන තියෙන්නේ සීයාගෙන්. දැන් මගේ ලොකු පුතාත් මේ රස්සාව කරනවා. එහෙම බලනකොට දැන් අවුරුදු සීයක් විතර තිස්සේ අපේ පරම්පරාවේ කට්ටිය මේ රස්සාව කරනවා. මේ දවස්වල නම් වැඩ අඩුයි. මිනිස්සු කැඩිච්ච සපත්තු මහගන්න වියදම් කරන්නෙත් අමාරුවෙන්.”

ඒ. අනීෂ්

“මේ ටවුන් එකේ අපිත් එක්ක රස්සාව කරපු සමහරු මැරිලා. දැන් අපි වගේ පරණ අය ඉන්නේ කීප දෙනයි. අලුත් කොල්ලෝ කීපදෙනෙක් මේ රස්සාව කරනවා. ඒක නම් ලොකු දෙයක්. නැත්නම් අපෙන් පස්සේ මේ වැඩේ කරන්න මනුස්සයෙක් නැතිව යනවා. මමයි, නෝනයි මේකෙන් හොයන කීයෙන් හරි ජීවත් වෙනවා. වහින දවස්වලට සල්ලි හොයාගන්න අමාරුයි. සමහරු ගිහින් එන්නම්, පස්සේ දෙන්නම් කියලා වැඩ ක‍රගෙන සල්ලි නොදී මාරුවෙන වෙලාවලුත් තියෙනවා. සපත්තු මහන්න සහ අලවන්න නූල්, ගම්, ඉඳිකටු ගන්න දැන් ඉස්සරට වැඩිය ලොකු වියදමක් යනවා. එහෙම තියෙද්දිත් අපේ මහන්සියට සාධාරණ ගාණක් දෙන්න සමහරු කැමති නෑ.”

අව්ව, වැස්ස නොතකා දෑත්, දෙපා සවි ඇති තෙක් ජීවිත සටන ගෙන යන මේ මිනිසුන්ගේ හෙට දවස අවිනිශ්චිතව පවතී. සිය දරු පවුලෙහි රැකවරණය පිණිස ගෙන යන මේ ජීවන අරගලය නැවතුණු දිනක ඔවුනට විශ්‍රාම වැටුප්, අර්ථසාධක දෙන්නට කිසිවකු නැත. ඒ හැම සමඟ කිසිවකුට නතු නොවී සිය හැකියාවෙන් ජීවන බර උසුලන මේ මිනිසුන් කෙරෙහි තවමත් අප වැනි රටක පවතින ආකල්ප ඉතා පසුගාමී වී තිබීම වඩාත් ශෝචනීය කරුණ වී තිබේ.

තඹුත්තේගම විශේෂ – ඩබ්ලිව්. ප්‍රදීප්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT