Tuesday, May 6, 2025
Home » පොලියට මුදල් දෙන්නකු රුවන්වැල්ලේදී වෙඩි තබා ඝාතනය කළේ

පොලියට මුදල් දෙන්නකු රුවන්වැල්ලේදී වෙඩි තබා ඝාතනය කළේ

-හිටපු කොස්තාපල්වරයෙක් බව හෙළිවේ

by sachintha
October 22, 2024 1:59 am 0 comment

පොලියට මුදල් දීමේ ව්‍යාපාරයක නිරතව සිටි පුද්ගලයකු මාතර, නාවිමනේ පිහිටි රුවන්වැල්ල ප්‍රදේශයට ගෙන්වා පසුගිය 15 වැනිදා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවයේ නිරතව සිටි කොස්තාපල්වරයකු විසින් බව ඒ සම්බන්ධයෙන් කරන විමර්ශනවලින් හෙළිවී තිබේ.

සේවය අතහැරයෑමේ නියෝග නිකුත් කර ඇති එම පොලිස් කොස්තාපල්වරයා විසින් මේ වෙඩි තැබීම සිදු කිරීමට හේතුව නිශ්චිත ලෙස පැහැදිලි නැතත් පොලිසිය සැක කරන්නේ මුදල් ආරවුලක් මේ වෙඩි තැබීමට මුල්වී ඇති බවයි. එම මුදල් ආරවුල පොලී මුදල් සම්බන්ධයෙන් ද, එසේත් නැතිනම් මත්ද්‍රව්‍ය ජාවාරමක් හා බැඳුණු මුදල් ආරවුලක් සම්බන්ධයෙන් දැයි සැකයක් මතුවී ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

වෙඩික්කරු වන පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු කොස්තාපල්වරයාගේ මේ ප්‍රහාරයට ගමන් කළ මෝටර් රථය පැදවූ රියැදුරුත්, ඊට ආධාර හා අනුබල දුන් බව කියන පුද්ගලයකුත් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන පසුගියදා (19) මාතර පොලිසියට භාරදී තිබේ. ඒ හැරුණුකොට මේ ඝාතනයට ලද බව කියන කොන්ත්‍රාත් මුදලකින් කොටසක් ළඟ තබාගෙන සිටියේ යැයි කියන සැකකරුවකු ද මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ වෙඩි ගැන හෙළිවීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මාතර පොලිස් වසමේ පරමුල්ලේ සිටි සැකකරු වන නාඹුන්න පල්ලියගුරුගේ ටිතිර දේශාන් ගුරුගේ යන අය පදිංචිව සිටි නි‍ෙවස පරික්ෂා කර ඇත. ඔහු රැඳී සිටි කාමරයේ තිබී 9mm පිස්තෝල උණ්ඩ 08ක්, විකාබ කමිසයක්, විකාබ කලිසමක්, DPM බැජ් 01, සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම භාවිත කරන වැලමිට ආවරණ 02ක්, දණහිස් ආවරණ 02ක්, සැකකරු වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේදී පැලඳ සිටි බවට සැක කරන ඩෙනිම් කලිසම සහ කමිසය, බූට් ජෝඩුව හමු වූ බව ද පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

එම භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාතර පොලිස් ස්ථානයට භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. එම්. කේ. විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත තංගල්ල කඳවුර අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.සී.එල්. මුණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදු කරන ලදැයි පොලිස් විශේෂ කාර්ය බළකා මාධ්‍ය අංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ මාතර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ගයාන් කුමාර වීරසිංහ සහ රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT