Saturday, May 3, 2025
Home » හැම තරගයකදීම ලකුණු ගැනීම මගේ උත්සහයයි

හැම තරගයකදීම ලකුණු ගැනීම මගේ උත්සහයයි

-මංගල එක්දින තරගයේදී අර්ධ ශතකයක් ලැබූ ශ්‍රී ලංකාවේ 7 වැනි පිතිකරු නිශාන් මධුෂ්ක කියයි

by sachintha
October 22, 2024 1:52 am 0 comment

සිය මංගල එක්දින තරගයේදී අර්ධ ශතකයක් රැස්කරගත් ශ්‍රී ලංකාවේ 7 වැනි පිතිකරු ලෙස නිශාන් මධුෂ්ක වාර්තා පොත් අතරට එක් වූවේය. ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නිත්‍ය ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ නිශාන් මධුෂ්ක සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා එක්දින පිලට ක්‍රීඩා කළේය.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පෙරේදා පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දුවට පහරදී වර්ෂාව හේතුවෙන් ඉනිම නතර කරද්දී ඕවර් 38.3කදී කඩුලු 4කට ලකුණු 185ක් ලබා ගත් අතර, ශ්‍රී ලංකා පිලට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ එල්ල වූ ඉලක්කය ඕවර් 31. 5කදී කඩුලු 5ක් දැවී ලකුණු 234ක් ලබා සම්පූර්ණ කළේය. මෙහිදී ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි නිශාන් මධුෂ්ක පන්දු 54කට මුහුණදී හයේ පහරක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 69ක් ලබා ගැනීමට සමත් වූ අතර, චරිත් අසලංක පන්දු 71කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 77ක් ලබා තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී නිශාන් මධුෂ්ක පැවැසූවේ ටෙස්ට් කණ්ඩායමේ සිට එක්දින පිලට පැමිණීමෙන් අමතර පීඩනයක් නොලැබූ බවය.

“මම ටෙස්ට් කණ්ඩායමේ සිට එක්දින කණ්ඩායමට පැමිණීමෙන් අමතර පීඩනයක් මතු වුණේ නෑ. නිමාවූ එන්එස්එල් තරගාවලියේදී මම හොඳින් ක්‍රීඩා කළා. කොදෙව් පිලට එරෙහි තරගයේදී සාමාන්‍ය විදිහට ක්‍රීඩා කිරීම මගේ සැලසුම වුණා. ඒ වගේම චරිත් අසලංකගේ අත්දැකීම් ගොඩක් හුවමාරු කර ගත්තා. වර්ෂාවෙන් පසු තණතිල්ලේ කැපීම ටිකක් අඩු වුණා. ඒ අතරේ කොදෙව් පිල හොඳින් පන්දු යැව්වා” නිශාන් මධුෂ්ක පැවැසීය.

“මංගල එක්දින තරගයට එක්ව ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම සතුටුයි. මම බලන්නේ හැම තරගයකදීම ලකුණු අරන් හොඳින් ක්‍රීඩා කරන්න. ලකුණු 50ක් ගහන්න සැලසුමක් තිබුණේ නෑ.චරිත් අයියා කිව්වේ සාමාන්‍ය විදිහට ක්‍රීඩා කරන්නයි. නායකයා තණතිල්ලට ආවට පස්සේ ලොකු හයියක් ආවා. අපි කතා වුණේ ගේම් එක ටිකක් ඇඳගෙන යන්නයි. ඕවර් 20ක් 30ක් බැට් කරමු කියලා අපි කතා කර ගත්තා. ඒ නිසා ජයග්‍රහණයට පහසු වුණා” නිශාන් මධුෂ්ක සඳහන් කළේය.

නිශාන් මධුෂ්ක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 10කදී ශතකයක් හා අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 571ක් ලබා සිටී. සිය 4 වැනි ටෙස්ට් ඉනිමේදී අයර්ලන්තයට එරෙහිව ලකුණු 205ක් ලබා දැවැන්ත ඉනිමක් ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ගොඩ නැංවීය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT