Sunday, May 11, 2025
Home » දඹුලු විහාරයේ නව භාරකාර ධුරයට පත් දඬුබැඳිරුප්පේ මහින්ද හිමි

දඹුලු විහාරයේ නව භාරකාර ධුරයට පත් දඬුබැඳිරුප්පේ මහින්ද හිමි

by sachintha
October 23, 2024 1:28 am 0 comment

බුදුරජාණන් වහන්සේ තෙවරක් මෙරටට වැඩම කර තිබුණත් සුවිශේෂී වෙනසක් සිදු වූයේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීමෙන් පසුවයි. එවන් සුවිශේෂී වෙනසක පෙරනිමිති පහළ කරමින් රංගිරි දඹුල්ල රාජමහා විහාරයේ හා ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ භාරකාර ධුරයට දඹුල්ල සිරි වළගම්බා මහපිරිවෙනෙහි පරිවේණාධිපති, දඹුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති දඬුබැඳිරුප්පේ මහින්ද හිමියෝ පත්ව සිටිති.

1968 සැප්තැම්බර් මස 17 වැනි දින ගලේවෙල, දේවහූව මාතෘ නිවාසයේ දී ඊ. ජී. මැණික්රාල මහතාගේ සහ ඊ. ජී. බණ්ඩිමැණිකේ මහත්මියගේ පුත්‍ර රත්නයක් ලෙස මෙලොව එළිය දුටු උන්වහන්සේ සහෝදරයන් සතර දෙනකුගේ සහ සහෝදරියන් සතර දෙනකුගෙන් යුත් පවුලේ බාලයාය. මහින්ද වනසිංහ නම් වූ හෙතෙම මූලික අධ්‍යාපනය ලද්දේ දඬුබැඳිරුප්ප කනිෂ්ඨ විද්‍යාලයෙනි. කුඩා කල සිටම බාහිර ක්‍රියාකාරකම්වලට ද දස්කම් දැක්වූ හෙතෙම පසුව මකුලුගස්වැව මහා විද්‍යාලයට ඇතුළු විය.

1983දී රංගිරි දඹුල්ල රාජමහා විහාර මැද පන්සලෙහි පිහිටි සිරි වළගම්බා පිරිවෙනට පනස් වසක් පිරීම නිමිත්තෙන් කුලදරුවන් පනස් දෙනකු සසුන්ගත කිරීමේ මහා පින්කමේදී මහින්ද වනසිංහ කුල දරුවා ද දඬුබැඳිරුප්පේ මහින්ද හිමි නමින් ප්‍රවෘජ්‍යා භූමියට පත් විය. පැවිදි වීමෙන් පසුව සාමණේරයන් වහන්සේ කෙනකු ලෙස උගත යුතු මූලික දැනුම දඹුල්ල සිරි වළගම්බා පිරිවෙනට ඇතුළත්ව ලබා ගත්තේය.

රංගිරි දඹුල්ල රාජමහා විහාර සිරි වළගම්බා මහ පිරිවෙනෙහි පරිවේණාධිපතිව වැඩ විසූ ශාස්ත්‍රපති ඇරෑවුල සෝමරතන මහා නාහිමියන්ගේ සහ මැද පන්සලෙහි අධිපති, සිරි වළගම්බා පිරිවෙනෙහි අධ්‍යක්ෂ, රංගිරි දඹුලු රාජමහා විහාරයේ හා ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ භාරකාර සද්ධර්මකීර්ති ශ්‍රී චන්දජෝති අඹගස්වැවේ රාහුල මහා නාහිමියන්ගේ ශිෂ්‍යවරයකු වශයෙන් පැවිදි වූ උන්වහන්සේ කුඩා කල සිටම ආගම දහමට කෙනකු විය.

1989 ජූනි මස 14 වැනි දින සියම් මහනිකායේ අස්ගිරි පාර්ශ්වයේ ශ්‍රීමත් මහනායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක සංඝයා හමුවෙහිදී උපසම්පදාව ලත් මහින්ද හිමි දඹුල්ල වළගම්බා මහ පිරිවෙනින්ම තමන්ගේ ද්විතීයික අධ්‍යාපනය ද ලබා ගත්තේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද, පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, අධ්‍යාපන පරිපාලනය පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනයෙන් පැවැත්වූ පාඨමාලා පමණක් නොව කැලණිය විශ්වවිද්‍යාලයෙන් පවත්වන ලද දමිළ සහ මනෝවිද්‍යා පාඨමාලා ද, ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගත්හ. පිරිපුන් ශාස්ත්‍රීය දැනුමෙන් යුතුව 1998දී දඹුල්ල සිරි වළගම්බා මහපිරිවෙනෙහි පරිවේණාධිපති ධුරයට පත් මහින්ද හිමියෝ අද දක්වාම එම නිලය හොබවති. සිය ගණනක් ගිහි පැවිදි සිසුන්ගේ ගෞරවය ලබති.

ප්‍රදේශයේ සමාජ, ආගමික, ජාතික කටයුතුවලදී පෙරමුණ ගෙන කටයුතු කරන උන්වහන්සේ හැම දෙනාගේම බුහුමනට පාත්‍ර වී ඇත්තේ දැන උගත් සහ සුපේෂල ශික්ෂාකාමී භික්ෂුවක් වශයෙනි. පොතුහැර සංඝ පරම්පරාවේ දඹුලු ප්‍රදේශයේ මූලස්ථානය වන මැද පන්සලෙහි ආධිපත්‍යයට පත්ව සිටි අඹගස්වැවේ රාහුල හිමියන්ගේ අපවත් වීමෙන් පසු රංගිරි දඹුලු රාජමහා විහාරයේ හා ශ්‍රී විෂ්ණු මහදේවාලයේ භාරකාරත්වය මහින්ද හිමියන්ට පැවරීමට අස්ගිරි මහා විහාරීය මහසංඝරත්නය හා දඹුලු රාජමහ විහාරාධිපති, ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, ගොඩගම මංගල නාහිමි සම්මත කරගනු ලබන්නේ එම සුවිශේෂී ගුණ සමූහය නිසාමයි.

දැනට ඇතාබැඳිවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමයෙහි විහාරාධිපතිත්වය දරන මහින්ද හිමි ඇතාබැඳිවැව ගම්මානය සංවර්ධනය කිරීමට උපරිම කැපවීමෙන් කටයුතු කරයි. දඹුල්ල – නාඋල සාමග්‍රී සංඝ සභාවෙහි ලේකම් ධුරය ද හොබවන අතර, දඹුල්ල නාගරික බලප්‍රදේශයේ ස්වේච්ඡා හා රාජ්‍ය සංවිධාන රාශියක අනුශාසකත්වය ද උසුලති. උන්වහන්සේ මෑත කාලයේදී දඹුලු විහාරයේ හා මැද පන්සල් විහාරස්ථානයේ සිදු කරන සංවර්ධන කටයුතු අගය කළ යුතු වෙයි.

දඹුලු රාජමහා විහාරයේත් එහි තේවා පන්සල් සතරෙත් ප්‍රදේශයේ සෙසු විහාරස්ථානවල හා පොදුවේ සමස්ත දඹුලු පුරවැසියන්ගේත්, බෞද්ධ මහජනතාවගේත් සුබසිද්ධියට සංවර්ධන කටයුතු රැසක් උන්වහන්සේගේ සැලසුම් අතර වෙයි. ශිෂ්‍ය ජීවිතයේදී මෙන්ම ගුරු ජීවිතයේදීත් උන්වහන්සේ මහත් කැපවීමෙන් කටයුතු කරති. දහසක් රාජකාරි යෙදුණත් ඒ සියල්ල නිරවුල් මනසකින් තෝරා බේරා කිරීමට උන්වහන්සේ සමත්ය. එදා මෙන්ම අදත් දිනයට අදාළ යම් කටයුත්තක් තිබේ නම්, එය එදිනම අවසන් කිරීමට උන්වහන්සේ හුරුව සිටිති.

රංගිරි දඹුලු රාජමහා විහාරයේ හා විෂ්ණු දේවාලයේ භාරකාර ධුරයට අදාළ සියලු කාර්යයන් උන්වහන්සේගේ සැලසුම් අනුවම ක්‍රියාත්මක කිරීමට පහසුවක් වේ යැයි සිතමි. නව භාරකාර හිමියන්ගේ සියලු කටයුතු සාර්ථක වේවා.

ආනන්ද මාරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT