Home » ප්‍රවාහනයට සුදුසුකම් සපුරන තෙක් හැටන් පාසල් සේවා වාහන 12ක් ධාවනයෙන් ඉවතට

ප්‍රවාහනයට සුදුසුකම් සපුරන තෙක් හැටන් පාසල් සේවා වාහන 12ක් ධාවනයෙන් ඉවතට

by sachintha
October 23, 2024 1:34 am 0 comment

හැටන් ප්‍රදේශයේ රජයේ සහ පෞද්ගලික පාසල්වලට ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ 12ක් ධාවනයෙන් ඉවත් කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මොටර් රථ පරීක්ෂක දමින්ද සේනාරත්න මහතා පෙරේදා (21) පියවර ගත්තේය.

මස්කෙළිය, සාමිමලේ, බගවන්තලාව, නෝටන්බ්‍රිජ්, තලවකැලේ, කොටගල ඇතුළු ප්‍රදේශ රැසක සිට දිනපතා පාසල් ළමුන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථ සහ වෑන් රථ 30ක පවතින අඩුපාඩුකම් සොයා බැලීමට හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයාගේ පරීක්ෂාවට යොමු කෙරිණ. එම වාහන සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවක් සිදු කළ මෝටර් රථ පරීක්ෂකවරයා වාහන 12ක පවතින අඩුපාඩුකම් සපුරා ගැනීමට දින 14ක කාලයක් ඔවුන් වෙත ලබා දුන් අතර, එම වාහනවල පවතින අඩුපාඩුකම් සපුරා යළිත් මෝටර් රථ පරීක්ෂකවරයාගේ පරීක්ෂාවට යොමු කරන තෙක් එම වාහන ධාවනයෙන් ඉවත් කර එම වාහනවල ආදායම් බලපත්‍රය මෝටර් රථ පරීක්ෂකවරයාගේ භාරයට ගැනිණ.

වාහනවල පවතින අඩුපාඩුකම් සම්බන්ධයෙන් එම වාහනවල ගමන් ගන්නා පාසල් සිසු සිසුවියන්ගේ මවුපියන් විසින් හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ට කරන ලද දැනුම්දීමක් මත හැටන් පොලිසියේ නිලධාරීන් හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර සහ හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන යන මහතුන්ගේ අධීක්ෂණය යටතේ මෙම වාහන පරීක්ෂාව සිදු කළ බව රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. චිරාජ් කුලසූරිය මහතා කියා සිටියේය.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT