තලාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ පිහිටි අධිරාණිගම ගම්මානයේ ගම්මැද්ද මාර්ගය දැඩි ලෙස අබලන්ව ඇති බව ගම්වාසීහු පවසති. කිලෝ මීටර් හතරක් පමණ දිගකින් යුතු මාර්ගය මෙසේ වළ, ගොඩැලි මතුවී අබලන් වීම හේතුවෙන් දැඩි දුෂ්කරතා විඳීමට සිදුව ඇති බව ගැමියෝ පෙන්වා දෙති.
මාර්ගය වැසි දිනවලදී එකම මඩ ගොහොරුවක් වන බව ඔවුහු පවසති. පායන දිනවලදී අවට පරිසරය දූවිල්ලෙන් වැසී යයි. ගොවීන් සිය
ගොවිපොළ නිෂ්පාදන වෙළෙඳපොළ වෙත ගෙන යනු ලබනුයේ ද මෙම මාර්ගය ඔස්සේය. ගම්මානයේ පාසලට, ළදරු පාසලට සහ විහාරස්ථානය වෙත යෑමට ඇත්තේ ද මෙම මාර්ගය පමණක් බව ගැමියෝ කියති. මීට වසර හතළිහකට පමණ ඉහතදී තාර දමා පිළිසකර කොට ඇති මෙම මාර්ගය මෙසේ අබලන් වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. අවට ගම්මාන කිහිපයක ගැමියෝ ද මෙම මාර්ගය සිය විවිධ අවශ්‍යතා සඳහා භාවිත කරති. ගැමියන් අත්විඳින දුෂ්කරතා පිළිබඳව බලධාරින් කොතෙක් දැනුවත් කළ ද මෙතෙක් ඵලක් වී නොමැති බව ඔවුහු පවසති. මේ කෙරෙහි කඩිනම් අවධානය යොමු කොට මෙම මාර්ගය පිළිසකර කොට දෙන ලෙස ගැමියෝ වගකිව යුත්තන් වෙතින් ඉල්ලීමක් කරති. මේ සම්බන්ධයෙන් ගම්වාසී උපතිස්ස බණ්ඩාර මහතා මෙසේ පැවසීය.
“මේ පාර මහවැලිය පටන් ගත්ත හැත්තෑ ගණන්වල හදපු එකක්. ඊට පස්සේ එක පාරක් මීට අවුරුදු හතළිහකට විතර කලින් පාර තාර දාලා හැදුවා. දැන් ගන්නම දෙයක් නෑ. අසනීපයක් හැදුණු මනුස්සයෙක් මේ පාරේ ගෙනියන්න බෑ. ඒ තරම් ලොකු වළවල්. ඉස්කෝල දරුවෝ මේ පාරේ යනවා. ගොවිතැන් කරන මිනිස්සු එළවළු ටික ගෙනියන්නේ මේ පාරෙන්. පාර හදලා දෙනව නම් ඒක හැමෝටම ලොකු ප්‍රයෝජනයක්.”
මෙහිදී නිශාන්ත ප්‍රියවංශ මහතා මෙසේ අදහස් දැක්වීය.
“පන්සලට දානේ ටිකක් අරන් යන්න විදිහක් නෑ පාර කැඩිලා හින්දා. ගමේ තියෙන පුරාණ පන්සලත් දියුණු වෙනවා මේ පාර හදලා දුන්නොත්. පිට මිනිස්සු පවා පන්සල බලන්න ගමට ඒවි එතකොට. ගමේ මිනිස්සු කාගෙන්වත් රස්සා ඉල්ලන්නේ නෑ. පාර හදලා දුන්නොත් ඒක ලොකු දෙයක්.”
තඹුත්තේගම විශේෂ – ඩබ්ලිව්. ප්‍රදීප්