සතොස සේවකයන් රාජකාරියෙන් බැහැරව දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රජයට පාඩු කිරීමේ චෝදනාව යටතේ අල්ලස් කොමිසම මඟින් ගොනු කළ නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (23) වරෙන්තු නිකුත් කළේය.
මෙම නඩුව ඊයේ (23) මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ සෙසු විත්තිකරුවන් පෙනී සිටිය ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත.
ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන රිට් නඩුකරයකට අදාළව දුන් ප්‍රතිඥාවක් අනුව සිය සේවාදායකයා ප්‍රකාශයක් දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව දන්වා සිටියේය.
විත්තිකරු නඩුවට ප්‍රමුඛත්වය දිය යුතු බවත් ඔහු අධිකරණය හමුවට පැමිණීම වළක්වන කිසිදු නියෝගයක් අභියාචනාධිකරණය නිකුත් කර නැති බවත් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේය.
මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ විත්තිකරුට වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව අධිකරණය හමුවට නොපැමිණීම සම්බන්ධයෙන් විත්තිකරු දක්වන කරුණු පිළිගත නොහැකි බැවින් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විනිසුරුවරයා වරෙන්තු නිකුත් කළේය.
නඩුව ජනවාරි මස 27 වැනිදා යළි කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අවවාද කළේය.
හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් රාජ් මොහිදීන් මොහොමඩ් සකීර් යන මහත්වරුන්ට එරෙහිව චෝදනා 4ක් යටතේ අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා මෙම දූෂණ නඩු පවරා ඇත.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා සහ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව යන මහත්ම මහත්මීහු පැමිණිල්ල මෙහෙය වූහ.