Friday, May 2, 2025
Home » ඩානා සුළි කුණාටුව ඔඩීෂා ප්‍රාන්තයට කඩා වදී

ඩානා සුළි කුණාටුව ඔඩීෂා ප්‍රාන්තයට කඩා වදී

by mahesh
October 25, 2024 1:00 am 0 comment

– ලක්ෂ 10ක ජනතාව ආරක්ෂිත ස්ථානවලට
– කොල්කටා ගුවන්තොටුපොළේ පැය 15කට ගුවන් ගමන් අත්හිටුවයි

ඉන්දියාවේ බෙංගාල මුහුදු තීරයෙන් ඔඩීෂා ප්‍රාන්තයට ඇතුළුවන බවට අනාවැකි පළ වී ඇති ‘ඩානා’ සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාව මුහුදුබඩ පළාත්වලින් ඉවත් කිරීම කඩිනම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඊයේ දහවල් වන විට ලක්ෂ 4කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා පිටත් කිරීමට ආපදා මෙහෙයුම් කණ්ඩායම් පියවර ගත් බවත්, ඩානා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වනු ඇතැයි අනාවැකි පළ වී ඇති පළාත්වලින් දැනටමත් මිලියනයකට අධික ජනතාව ඉවත් කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඊයේ වන විට ඔඩීෂා ප්‍රාන්තයේ දුම්රිය ගමන් වාර 300කට අධික ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, කොල්කටා ගුවන්තොටුපොළේ ගුවන් ගමන් ඊයේ පස්වරු 6 සිට අද පෙරවරු 9 දක්වා කාලසීමාවකට අත්හිටුවීමට ද පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ප්‍රාන්තයේ මුහුදුබඩ පළාත්වල සියලුම පාසල් වසා දැමීමට ද උපදෙස් ලබා දී තිබේ. ආපදා මෙහෙයුම් කණ්ඩායම් 71ක් සහ ගිනි නිවන සේවා කණ්ඩායම් 200ක් සමඟ විශේෂ පොලිස් කණ්ඩායම් 158ක් සහන සේවා සහ මෙහෙයුම් සඳහා අනුයුක්ත කර ඇතැයි ද වාර්තා වේ.

එරට කාලගුණ දෙපාර්තමේන්තුවට අනුව ඔඩීෂා ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක රැසකට ඩානා සුළි කුණාටුවේ උපරිම බලපෑම් එල්ලවීමේ වැඩි අවදානමක් ඇති අතර, පැයට කිලෝමීටර් 120ක පමණ වේගවත් සුළිං තත්ත්වයක් සමඟ අධික වර්ෂාපතනයක් ඇද හැලීමට ඉඩ ඇතැයි වාර්තා වේ. තවත් දිස්ත්‍රික්ක රැසක පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යටවීමේ අවදානම හේතුවෙන් එම පළාත්වලින් ජනතාව ඉවත් කිරීම වේගවත් කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT