ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ සඳහා එළැඹෙන 30දා සවස දක්වා නිර්මාණ භාර ගැනේ. මෙවර දෙවැනි වරටත් පැවැත්වීමට නියමිත අතර එය මේ වසර අගදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට රජය කටයුතු සූදානම් කරමින් පවතියි. අපි ඒ පිළිබඳ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන, සැලසුම් හා තොරතුරු) කැළුම් විජේනායක මහතාගෙන් වැඩිදුරටත් කරුණු විමසමු.
කොහොමද දැනට ප්‍රතිචාර ?
ඉහළයි. පුවත්පත් ලිපි ලියාපදිංචි තැපෑල, විද්‍යුත් තැපෑල ආදී විධි හරහා බොහෝමයක් ලැබී තිබෙනවා. විද්‍යුත් ක්ෂේත්රයෙන් දැනට නිර්මාණ ලැබෙමින් තිබෙනවා වගේම ඉදිරියේදී තවත් බොහෝමයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. බොහෝ විද්‍යුත් මාධ්‍ය නිර්මාණ පටිගත කිරීම් ආදියටත් යම් කාලයක් ගතවීම ඊට හේතුවක්.
අපි දැන් මෙවර උලෙළේ අරමුණු සහ ස්වභාවය හඳුනා ගනිමු ?
ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියක් රට තුළ ඇති කර ගැනීමේ අරමුණ පෙරදැරිවයි මේ සම්මාන උලෙළ පවත්වන්නේ. මුලින්ම 2018 වර්ෂයේදී එළිදුටු නිර්මාණ වෙනුවෙන් 2019 වර්ෂයේදීයි ජනාධිපති ජනමාධ්‍ය සම්මාන උලෙළක් පැවැත්වුණේ. ඉන් අනතුරුව වසර 6ක් පමණ මේ උලෙළ පැවැත්වුණේ නැහැ. ඒ නිහැඬියාව බිඳිමින් මෙවර නව ආණ්ඩුව යටතේ නව ප්රවේශයකින් යුතුව ජනමාධ්‍ය සම්මාන උලෙළ පැවැත්වීමට මේ වන විට මූලික කටයුතු කෙරෙමින් පවතිනවා. ඒ අනුව, මෙවරත් පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි, වෙබ් අඩවි, මාධ්‍ය පර්යේෂණ යන ක්ෂේත්‍ර යටතේ සම්මාන පිරිනැමීමට කටයුතු යොදා තියෙනවා. එසේම, තවත් විශේෂත්වයක් මෙවර උළෙලේදී දක්නට ලැබෙනවා. එනම්, පාසල් මාධ්‍ය ක්ෂේත්රය සඳහාත් සම්මාන, සහතික හා මුදල් ත්‍යාග ප්රදානයටත් කටයුතු යොදා තිබීමයි. ඒ ආදී වශයෙන් අංශ 6ක් යටතේ සමස්ත සම්මාන 50ක් මෙවර ප්රදානය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ, එක් අංශයකට සම්මාන ගණනාවක් බැඟින් වෙන් වන අන්දමටයි. එසේම, මෙවර සම්මාන උලෙළ රාජ්‍ය ආයතනයකදී පවත්වමින් විය හියදම් අඩු කර ගැනීමට නියමිතයි. ඒ අනුව, කොළඹ අරලියගහ මන්දිරය පරිශ්‍රයේදී මේ වසර අගදී සම්මාන උලෙළ පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා. සම්මාන සඳහා ඉකුත් වර්ෂයේ පිරිනැමූ මුදල් ත්‍යාග මෙවර වැඩි කිරීමටත් කටයුතු යොදා තිබෙනවා. ඒ, වියදම් අවම කර ගැනීමේ ක්‍රමවේදය යටතේයි.
ජනමාධ්යෙව්දින්ගේ විවිධ කුසලතා, දක්ෂතා හා සුවිශේෂි හැකියා හඳුනා ගනිමින් ඒවා ඉහළ නැංවීම මෙහි අරමුණක්. ඒ අනුව නිතැතින්ම ඒ ක්ෂේත්රයේ ගුණාත්මක ප්‍රගතියක් වනු නියතයි. වෘත්තීය මාධ්‍යෙව්දින් විදියට කටයුතු කිරීමේදී පැන නඟින පුහුණුව, නව දැනුම ආදිය සපුරා ගැනීම කෙරෙහි වරලත් වෘත්තීය මාධ්‍යවේදින්ගේ ආයතනයක් පිහිටුවීමට අදාළවත් කටයුතු කෙරෙමින් තිබෙනවා. ඒ සඳහා වන කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා. ඊට කලින් ඉහළ සුදුසුකම් හා දක්ෂතා අගය කිරීමේ වැඩපිළිවෙළක් විදියටත් මෙය හඳුන්වා දිය හැකියි. සමාජ මෙහෙවරක නිරත මාධ්‍යෙව්දීන් අගය කිරීමත් මෙයින් අපේක්ෂා කරනවා. ඒ තවත් නිර්ණායකයක්. සංවර්ධනය සඳහා ජනමාධ්‍ය කාර්යභාරය අගය කිරීම තවත් අරමුණක්. මෙය එක්තරා විදියකින් මාධ්‍යෙව්දින්ගේ කාර්යසාධනයක් බවටත් එක් අතකින් පත්වනු ඇති. ඒ අනුවත් සමස්තයක් වශයෙන් මාධ්‍ය ක්ෂේත්රය කෙරෙහිම මේ අනුව අවධානය යොමු කිරීමට නියමිතයි. ඉදිරි මාධ්‍ය දිශානතිය පිළිබඳත් මෙයින් මඟ එළි දැල්වෙනු ඇතැයි සිතනවා.
පුවත්පත් ක්ෂේත්රය පිළිබඳ කෙටියෙන් කිව්වොත් ?
වසරේ ප්රශස්ත ප්රවෘත්ති වාර්තාව, විශේෂාංග ලිපි, ගවේශනාත්මක පුවත්පත් වාර්තාකරණය, පිටු සැකසුම, කාටුන් නිර්මාණය ආදී වශයෙන් අංශ ගණනාවක් යටතේ මෙවරත් පුවත්පත් අංශයෙන් සම්මාන ප්රදානය කෙරෙනවා. සිංහල දෙමළ, ඉංග්‍රීසි අංශවලින් ප්රවෘත්ති වාර්තා අංශ යටතේ සම්මාන පිරිනැමෙනවා.
නීතිරීති, කොන්දේසි ආදිය ගැනත් කියමුද ?
මින් පෙර වසරවල සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් කළ නිර්මාණ මේ සඳහා භාර ගැනෙන්නේ නැහැ. 2023 වසරේ මුල් වරට පළ කළ, නිර්මාණය කළ ඒවා පමණයි මෙවර භාර ගැනෙන්නේ. 2023 ජනවාරි 1 දින සිට දෙසැම්බර් 31 දින දක්වා වන කාලය තුළ කළ නිර්මාණ මෙවර සම්මාන උලෙළට ඉදිරිපත් කළ හැකියි. ජනමාධ්‍ය ආයතන ප්‍රධානින් මඟින් අදාළ නිර්මාණය එය ඉදිරිපත් කරන්නාගේම එකක් වන බවට සහතික කර එවිය යුතුයි. එහෙත් එයින් නිදහස් මාධ්‍යවේදින්ට මේ සඳහා ඉදිරිපත් විය නොහැකි වගක් ඇඟවෙන්නේ නැහැ. තමන්ටම ස්ව නිර්මාණයක් බවට ස්වාධීනව සහතික කරමින් මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැකියි. ඒ සඳහා අයදුම්පත් හා තොරතුරු www.media.gov.lk වෙබ් අඩවියෙන් හෝ අමාත්‍යාංශයට පැමිණ ලබාගත හැකිය. එසේම අදාළ නිර්මාණ අතිරේක ලේකම් (සංවර්ධන, සැලසුම් හා තොරතුරු), බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 ලිපිනයට එවිය හැකියි. නිර්මාණ බහා එවන ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ නිර්මාණය අදාළ වන ක්ෂේත්රය සහ තරග අංශය පැහැදිලිව සඳහන් කළ යුතුයි.
වැඩිදුර විස්තර 0112513737/0112513459 දුරකතනය ඔස්සේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන අංශය ඇමතීමෙන් ලබාගත හැකියි.
යාවජීව සම්මානත් ප්‍රදානයට නියමිතයි නේද ?
ඔව්. ජූරියේ විශේෂ සම්මාන වශයෙන් එය හඳුන්වා තිබෙනවා. ජනමාධ්‍ය ක්ෂේත්රයට සුවිශේෂී මෙහෙවරක් කළ ප්‍රවීණයන් 4දෙනකුට මේ යටතේ සම්මාන ප්‍රදානයට නියමිතයි. ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන, එසේත් නැතිනම් යාවජීව සම්මාන වශයෙන් මේ සුවිශේෂී සම්මාන පිරිනමන්නේ. ඒ සම්මාන සමඟ රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් මුදල් ත්‍යාග දීමට මුලින් සැලසුම් කළත් අනෙකුත් වියදම් අවම කිරීමේ ක්‍රියාවලිය යටතේ මුදල් ඉතිරි කර ගනිමින් ඊට වඩා වැඩි මුදලක් එම සම්මානලාභින්ට දීමටත් බලාපොරොත්තු වෙනවා.
පාසල් මාධ්‍ය අංශ සඳහා මෙවර සම්මාන දීමට කල්පනා කළේ ?
අනාගතයේදී ජනමාධ්‍යවේදීන් බවට පත්වන්නේ පාසල් පද්ධතිය ඇසුරේ එම මාධ්‍ය ඒකක, මාධ්‍ය සංගම් ආදියෙන් අත්දැකීම් ලබමින් සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඒ අයගේ ක්‍රියාකාරිත්වය තවත් වර්ධනය කර දීම මෙහිදී අපේක්ෂා කරනවා. පාසල් මාධ්‍ය සංගම් 400ක් පමණ දිවයින පුරා පවතිනවා. එයින් සැලකිය යුතු ගණනක් ඉතා සක්‍රිය මට්ටමේ ඇති බවත් පෙනෙනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එක්ව එම පාසල් මාධ්‍ය සමාජවල ප්රගමනයට කටයුතු කරනවා. එහිම තවත් විශාල ඉදිරි පියවරක් විදියටත් මෙය හඳුන්වා දිය හැකියි. ඔවුන් ඇගැයීමට ලක් කරමින් තවදුරටත් දක්ෂතා පෙන්වීම පිණිස උත්තේජනයක් මේ අනුව සැලසෙනු ඇතැයි අපේක්ෂා කරනවා. එසේම, මේ අයුරින් පාසල් මාධ්‍ය සමාජ, කව අතර දෙමළ, සිංහල දෙඅංශයෙන්ම සම්මාන, ත්‍යාග පිරිනැමෙනවා. ඒ වෙනුවෙන් සම්මාන 3ක් පිරිනැමීමටත් බලාපොරොත්තු වෙනවා. ප්‍රශස්තම පාසල් මාධ්‍ය ඒකකය ආදී වශයෙන් ඒ ඇගයීම් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඉදිරිපත් කිරීම්, ආදර්ශවත් අංග ආදිය මෙහිදී සලකා බැලෙනු ඇති.
බොහෝ සම්මාන උලෙළවලින් පසුව එම තීන්දු පිළිබඳ විරෝධතා, මැසිවිලි නැඟෙනු දක්නට පුළුවන් ?
ඒ අනුව ප්‍රවීණ, අත්දැකීම් බහුල තැනැත්තන් විනිශ්චය මණ්ඩල හඳුනා ගනිමින් සිටිනවා. මෙහෙයුම් කමිටුවක් ඒ සඳහා පත්කර සිටිනවා. ඒ සඳහා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ආදීන් සහ නිලධාරීන් සැදුම්ලත් වෙනවා. ඒ අනුව නිර්ණායක අනුව ලකුණු දෙමින් විනිවිද පෙනෙන ක්‍රමවේදයක් සම්මානලාභීන් තෝරා ගැනීමේදී සකසා ගැනීම කෙරෙහිත් අවධානය යොමු කර තිබෙනවා. විනිශ්චය මණ්ඩල අතර විවිධත්වයක් ඇති කිරීමටත් කටයුතු කරනවා. එසේම, අඩුම තරමින් විනිශ්චය මණ්ඩලය යටතේ කාණ්ඩ 20ක් වත් පිහිටුවීම කෙරෙහිත් අවධානය යොමුවී තිබෙනවා. ඒ අනුව භාෂා වශයෙන් හා විවිධ අංශ, ක්ෂේත්‍ර නියෝජනය කෙරෙන පරිදි ඒවා පිහිටුවීමට නියමිතයි. එක් විනිශ්චය මණ්ඩලයක් 5 දෙනකුගෙන් සැදුම්ලත් වන පරිදි පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා.
ඡායාරූප – මාලන් කරුණාරත්න