(මේ ලිපි පෙළේ පළමුවැන්න ඊයේ දිනමිණ 4 පිටුවේ පළ විය)
හඬපට සම්බන්ධයෙන් වැඩ තහනම් කර සිටි ශානි අබේසේකර මහතාගේ සියලුම හිඟ වැටුප් ගෙවීමට 2023 ජූනි 28 වැනිදා රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව තීන්දු කළ අතර කොමිසම 2023 ජූලි 06 වැනිදා ඒ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත දැනුම් දුන්නේය.
චෝදනා
ශානි අබේසේකරට සහ රවී සෙනවිරත්නට එරෙහිව වැඩිපුරම පාස්කු චෝදනා එන්නට පටන් ගත්තේ ආණ්ඩු මාරුවත් සමඟය. එය ප්‍රසිද්ධියේ සහ අප්‍රසිද්ධියේ සිදුවිය. ශානි අබේසේකරට එරෙහිව දිගින් දිගටම චෝදනා කළ පුද්ගලයකු වූයේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතාය. ඔහු මුලින්ම චෝදනා කළේ බුදුපිළිම සිදුවීම සම්බන්ධයෙන් තමන්ගේ දැනුම්දීම මත ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීම සඳහා ශානි අබේසේකරට යොමු කළ ලිපිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගෙන මාසයකට පමණ කාලයක් ආසන්න වෙද්දි එය ප්‍රතික්ෂේප කරමින් අබේසේකර ලිපියක් එවූ බවයි.
ඉන් පසු චෝදනා කළේ කුලියාපිටියේ පිහිටි සහරාන්ගේ බිරිය වන හාදියාගේ නිවෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගියද සාරා ජස්මින් අත්අඩංගුවට ගෙන නැති බවයි. එසේම එදින නිවෙස අසල රැකවල් දැමීමට නිලධාරීන්ට ඉඩ නොදීම නිසා එදින හාදියා කැඳවාගෙන යාමට පැමිණි සාරා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවට තවත් චෝදනාවක් විය.
තුන්වැනි චෝදනාව වූයේ බුදුපිළිම විමර්ශනයට අදාළව ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් නොයෙදවීමයි.
හතරවැනි චෝදනාව වූයේ නිලන්ත ජයවර්ධන 2019 අප්‍රේල් 09 වැනිදා යොමු කළ ලිපියට අදාළව ප්‍රහාරය එල්ලවනතුරු ක්‍රියාමාර්ග නොගත් බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධයෙන් මීට පෙර ලිපියෙන් කරුණු අනාවරණය කළෙමු. එම ලිපිය අවසන් කළේ මෙම දෙදෙනාට එරෙහිව පාස්කු විමර්ශනවලට අදාළව විවිධ පාර්ශ්ව එල්ල කළ චෝදනාවලිනි.
මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගැනීම සඳහා කෑගල්ල කොට්ඨාසයෙන් ශානි අබේසේකරට යොමු කළ ලිපිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගෙන මාසයකට පමණ කාලයක් ආසන්න වෙද්දි එය ප්‍රතික්ෂේප කරමින් ලිපියක් එවීම, කුලියාපිටියේ පිහිටි සහරාන්ගේ බිරිය වන හාදියාගේ නිෙවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගියද එහි සිටි සාරා ජස්මින් අත්අඩංගුවට නොගැනීම, එදින නිෙවස අසල රැකවල් දැමීමට නිලධාරීන්ට ඉඩ නොදීම නිසා එදින හාදියා කැඳවාගෙන යාමට පැමිණි සහරාන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම, බුදුපිළිම විමර්ශනයට අදාළව ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් නොයෙදවීම සහ නිලන්ත ජයවර්ධන 2019 අප්‍රේල් 09 වැනිදා යොමු කළ ලිපියට අදාළව ප්‍රහාරය එල්ලවනතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ග නොගැනීම ගැන ශානිට සහ රවීට පාර්ශ්ව කිහිපයක් චෝදනා කළහ.
එම චෝදනා කළ පිරිස් අතර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා ඉදිරියෙන්ම සිටියේය. චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට පෙර චෝදනා කළ පිරිස් සම්බන්ධයෙන් මුලින්ම සොයා බැලීම වැදගත් වන්නේ ඇතැම් විමර්ශනවල ඇති ළබැඳියාවන් අතර ගැටුම ගැන අවබෝධ කර ගැනීම පිණිසය.
පාලිත සිරිවර්ධන
ශානිට සහ රවීට වරින්වර චෝදනා කළ ලේකම්වසම් පාලිත රොහාන් සිරිවර්ධන මහතා 1979 වසරේ දී ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස ශ්‍රී ලංකා පොලිසියට බැඳී ඇති අතර, 1986 වසරේ දී පොලිස් පරීක්ෂක ධුරයටත්, 1993 වසරේ දී ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයටත්, 2006 වසරේ දී සහකාර පොලිස් අධිකාරි ධුරයටත්, 2010 වසරේ දී පොලිස් අධිකාරි ධුරයටත් උසස්වීම් ලැබීය. පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස්වීම් ලැබූ ඔහු 2018 වසරේ නොවැම්බර් මාසයේදී වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පත් කළ අතර 2019 ජුනි 05 වැනිදා ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම ලබා ගත්තේය.
ඔහු කෑගල්ල දිසා භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කරනු ලැබුවේ 2018 නොවැම්බර් මාසයේ දී දින 52 ආණ්ඩුව සමයේ ජාතික පොලිස් කොමිසම විසිනි. ඊට පෙර ඔහු කිළිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස සේවය කරමින් සිටියේය. ඔහුට වැඩබලන පොලිස්පති ලෙස පත් කිරීමක් පොලිස් කොමිසමෙන් අනුමත කර තිබියදී එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දිගින්දිගටම ඔහුට වැඩබලන පොලිස්පති උසස්වීම ලබාදීම ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් 2018 නොවැම්බර් මාසයේදී දින 52 ආණ්ඩු සමයේ දී ඔහු කෑගල්ල දිසා භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කෙරිණි. ඔහු එවකට ප්‍රකාශ කළේ පූජිත් ජයසුන්දර මහතා තමාගෙන් පෞද්ගලික පළිගැනීමක් සිදුකරන බවයි.
ඔහු උසස්වීම් ලැබීමට පෙර කිළිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කරමින් සිටියදී 2016 ඔක්තෝබර 18 වැනි දින කිළිනොච්චිය කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් කිලිනොච්චි කොට්ඨාසයට අයත් නොවන පුදුකුඩුඉරිප්පු පොලිස් වසමේ දේවපුරම් ප්‍රදේශයට ගොස් වළක් හාරන බවට පුදුකුඩුඉරිප්පු පොලිසියේ දිවා මුර සංචාරයේ සිටි නිලධාරීන් පිරිසක් කළ දැනුම්දීමක් මත විමර්ශනයක් ආරම්භ වී තිබේ.
ඩබ්ලිව්.පී. එල් ජී 9572 දරන සුදු පැහැති බොලරෝ වර්ගයේ පොලිස් කැබ් රථයක් හා කළු පැහැති කැබ් රථයකින් කිළිනොච්චිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ එවකට ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තලවත්ත නිලධාරියා, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු, පොලිස් කොස්තාපල් රියැදුරකු සහ තවත් සිවිල් පුද්ගලයකු පැමිණ මෙම කැණීම කර ඇති අතර තලවත්ත නිලධාරියාගේ පැමිණීමේ සහ පිටවීමේ සටහන්වල කොට්ඨාස භාර පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන මහතාගේ නියෝග පරිදි කටයුතු කළ බව සටහන් කර තිබී ඇත.
අඩි හතරක් දිග, අඩි තුනක් පළල සහ අඩි 01ක් ගැඹුරු වළක් ඒ වනවිටත් හාරා තිබී ඇති අතර අදාළ ප්‍රදේශයේ තවදුරටත් ගිනිඅවි සහ රත්‍රන් වළ දමා ඇති ප්‍රදේශයක් බවට ද විශ්වාස කරන හෙයින් පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා මේ ගැන ඉහළට දැනුම්දී තිබේ. ඒ අනුව උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.ඒ.ඒ. සරත් කුමාර මහතා විසින් මූලික විමර්ශනයක් සිදු කිරීමට එවනකට වන්නි දිසා භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කළේය. එම විමර්ශනයේදී නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ නීති විරෝධී ගිනිඅවියක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත කොට්ඨාස භාර පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධනගේ වාචික උපදෙස් අනුව වෙනත් කොට්ඨාසයක සහ වෙනත් පොලිස් වසමක පිහිටි අදාළ ප්‍රදේශයට ගිය බවයි. කෙසේ වෙතත් මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ පොලිස්පති චක්‍රලේඛ සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් මෙම කැණීම සිදු කර ඇති බවයි.
ඒ අනුව මූලික විමර්ශනය කළ දේශබන්දු තෙන්නකෝන් මහතා කිළිනොච්චි කොට්ඨාස භාර පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධනට අපකීර්තිදායක හැසිරීම, අණට අකීකරුවීම, රාජකාරිය පැහැරහැරීම සහ විනය කඩ කිරීමට ආධාරකරුවකුව සිටීම යන චෝදනා යටතේ චෝදනාපත්‍ර ලබාදීමට නිර්දේශ කළේය. කෙසේ වෙතත් පාලිත සිරිවර්ධන මහතා චෝදනා කළේ දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම මූලික පරීක්ෂණය හරියට සිදු නොකළ බවයි. තෙන්නකෝන් මහතා ද මූලික පරීක්ෂණයේදී පාලිත සිරිවර්ධන මහතා කැඳවා ප්‍රකාශයක් සටහන් කළ යුතු වුවද එසේ කැඳවීමකින් තොරව පාලිත සිරිවර්ධනට අවශ්‍ය පරිදි ප්‍රකාශය සටහන් කර එවීමට කටයුතු කළ බව සිරිවර්ධන මහතා චෝදනා කළේය.
මෙම මූලික විමර්ශනය පදනම් කරගනිමින් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතා 2017 ජනවාරි 25 වැනිදා පොලිස්පතිවරයාට වාර්තාවක් යොමු කළ අතර එම වාර්තාවේ 11 වැනි ඡේදය යටතේ නිර්දේශ කර ඇත්තේ සිරිවර්ධන මහතා කිසිදු ක්‍රියාකාරි හෝ ක්‍රියාකාරි නොවන කොට්ඨාසයක් භාරව පත් කිරීමට යෝග්‍ය නොවන බැවින් ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පෞද්ගලික සහකාරවරයකු ලෙස ස්ථාන මාරු කිරීමට සුදුසු බවයි.