Home » ඇසුරුම්කරණ කර්මාන්තයේ නව ප්‍රවණතා රැසක් සමඟින් “Lankapak 2024” ඇරඹෙයි

ඇසුරුම්කරණ කර්මාන්තයේ නව ප්‍රවණතා රැසක් සමඟින් “Lankapak 2024” ඇරඹෙයි

by chanaka
October 25, 2024 3:58 pm 0 comment

ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගීතාවයෙන් සංවිධානය කළ “Lankapak 2024” ඇසුරුම්, සැකසුම්, මුද්‍රණ, ප්ලාස්ටික් සහ කඩදාසි ජාත්‍යන්තර ප්‍රදර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේදී අද (25) ආරම්භ විය.

ඔක්තෝබර් 25, 26 හා 27 යන තෙදින පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශණය මෙවර පැවැත්වෙන්නේ 25 වන වරටය.

ඇසුරුම්කරණ කර්මාන්තයේ අවශ්‍යතා සපුරාලමින් එම අංශය සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය විසින් 1982 වසරේදී සිට පවත්වන ලද මෙම “Lankapak” ඇසුරුම්කරණ ප්‍රදර්ශණය හරහා ඇසුරුම්කරණ කර්මාන්තයේ ප්‍රවණතා, නවෝත්පාදන, නවීන තාක්ෂණය, දෙස් විදෙස් වෙළඳපොළ සොයා ගැනීම වැනි අරමුණු රැසක් සාක්ෂාත් කර ගැනීමට කර්මාන්තකරුවන්ට අවස්ථාව උදාවනු ඇත.

වඩාත් තිරසාර, පරිසර හිතකාමී නිෂ්පාදන රැසකින් සමන්විත මෙවර ප්‍රදර්ශණය සඳහා ප්‍රදර්ශකයින් 100 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වී ඇති අතර ඔවුන්ගේ ප්‍රදර්ශන කුටි 140 ක් දැකිය හැකිය. ඉන්දියාව, පාකිස්තානය, බංගලිදේශය, චීනය සහ මැලේසියාව රටවල්වල ප්‍රදර්ශන කුටි 12ක්ද මෙම “Lankapak 2024” ප්‍රදර්ශනයට එක් කර තිබෙයි. “Lankapak 2024” යනු ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ සියලු අවශ්‍යතා සපුරාලමින් නිෂ්පාදකයින්, සැපයුම්කරුවන් හා ගැනුම්කරුවන් සියළුදෙනා එකට හමුවන වේදිකාවක් වේ.

අද දින ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයීමුදීන් මහතා ප්‍රකාශ කළේ, වර්තමානයේ පාරිභෝගික ඉල්ලුම තිරසාර හා පරිසර හිතකාමී නිෂ්පාදන කෙරෙහි වැඩියෙන් යොමුවී ඇති බවත් ඒ හරහා කර්මාන්ත ක්ෂේත්‍රය වඩාත් අභියෝගවලට මුහුණදෙන අතරම ඒ තුළින්ද නව ව්‍යාපාරික අවස්ථා රැසක් ඇතිවී ඇති බවයි. තවද නවීන තාක්ෂණය හා තිරසාර විසඳුම් භාවිතයෙන් මෙම අභියෝග ජයගැනීමට කර්මාන්තකරුවන්ට අපහසුවක් නොවන බවද නයීමුදීන් මහතා වැඩිදුරටත් පැවසීය.

“Lankapak” ප්‍රදර්ශණයට සමගාමීව වාර්ෂිකව පවත්වනු ලබන ඇසුරුම්කරණ සම්මේලනය මෙවරද පැවැත්වෙන අතර මෙවර තේමාව වන්නේ “වඩා හොඳ ලෝකයක් සඳහා ඇසුරුම්කරණය” යන්නයි. දින 2ක් පුරා පැවැත්වෙන මෙම සම්මේලනයේදී ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ දැනුම හුවමාරු කර ගැනීමටත් පවතින ගැටලුවලට විසඳුම් සෙවීමටත් අවස්ථාව ලැබේ.

“Lankapak 2024” ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, අධ්‍යක්ෂ නලිනි බාලසුබ්‍රමනියම්, අධ්‍යක්ෂ ගීතානි දිසානායක, ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනයේ සභාපති තුසිත් විජේසිංහ, ඇසුරුම්කරණ කොංග්‍රසයෙහි සභාපති උපුල් අබේවර්ධන, “Lankapak 2024” ප්‍රදර්ශනයේ සංවිධායක කමිටුවේ සභාපති නිශාන් පෙරේරා, කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින්, පුද්ගලික ආයතන හා රාජ්‍ය ආයතන වල නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT