ජනපති අනුර කුමාර මහතාගේ ලොකුම වගකීම ඡන්දය දුන් නොදුන් සෑම පුද්ගලයකුම එකතු කරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක, හිටපු ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ පන්නල, ඊරියගොල්ල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවෙසේ පැවති ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මම පරිසර ඇමැතිවරයා වෙලා සිටි කාලයේ රජයේ වනාන්තර, රක්ෂිත ලෙස නම් කර ගැසට් නිකුත් කළා. එදා මම ඒ විදිහට ගැසට් එක ගහපු නිසා තමයි ඒ මහා වන සංහාරය නැවතුණේ. මට දැනුණා, මේ දේ වුණොත් කවදාහරි දවසක මෙරට විශාල ගැටලුවක් ඇති වෙනවා කියලා. අපි දේශපාලනය කළේ අපේ වාසියට නෙමේ. මට හෝ මගේ පවුලේ කෙනකුට වැඩ කර ගන්න නෙමෙයි. මගේ නිල වාහනයක් කවදාවත් අපේ පවුලේ කෙනෙක් පාවිච්චි කළේ නෑ. එදත් එහෙමයි. අදත් මගේ නංගිලා ගමන් යන්නේ පොදු ප්‍රවාහන බස් රථයේ.
අපි අපිටම ආවේණික විනයක් හදා ගත්තා. ඒක ආයෙත් කවුරුවත් කියන්න ඕනෙ නෑ. මහජන දේපළ පරිහරණය කරනකොට සීමාවක් තියා ගන්න ඕනෙ කියලා අපි දන්නවා. ඒක කවුරුත් අපට කියාදෙන්න අවශ්‍ය නෑ.
ලංකා දේශපාලනයේ බොරුව කියන එක වැදගත් සාධකයක් කියලා මට තේරුණේ පසුගිය ජනාධිපතිවරණයේදී. අර අපේ තියෙනවා ඉතිහාස කතාවක්, ලෝකයේ වැඩිම බොරු කිව්වේ චේතිය රජ්ජුරුවෝ කියලා. මේ සැරේ වැඩියෙන්ම බොරු කිව්වේ චේතිය රජ්ජුරුවන්ටත් එහා ගිය කණ්ඩායමක්. චේතිය රජ්ජුරුවන්ටත් වැඩියෙන් එයාලා බොරු කිව්වා.”