Saturday, May 10, 2025
Home » මහජන මතය හැදෙන පළමු අවස්ථාවේම අපි ආණ්ඩු බලය ගන්නවා

මහජන මතය හැදෙන පළමු අවස්ථාවේම අපි ආණ්ඩු බලය ගන්නවා

සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක බන්දුලාල් බණ්ඩාරිගොඩ

by mahesh
October 25, 2024 1:00 am 0 comment

අහුන්ගල්ල සමූහ - අනුර යසමිත්

“අලුත් ආණ්ඩුව වෙනස් කර රටේ බලය ගන්න සමගි ජන බලවේගයට හදිස්සියක් නෑ. කලබලයක් නෑ. නමුත් මහ පොළොවේ මහජන මතය හැදෙන පළමු අවස්ථාවේම කල් මරන්නේ නැතුව අපි ආණ්ඩු බලය ගන්නවා.” යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ බළපිටිය හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ඔෂිලා ඩබ්ලිව්. ද සොයිසා මහත්මියගේ ප්‍රධානත්වයෙන් බළපිටිය, වැලිතරදී පැවැති ජනහමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වෙන්න කලින් සිග්නල් දමපු පැත්තට නොවෙයි දැන් වාහනය හරවලා තිබෙන්නේ. බලය ගන්න කලින් ඕන තරම් බොරු කන්දරාවක් කියලා ජනතාව මුළා කළා. ඉදිරියේදී සිග්නල් නොදමපු පැත්තට වාහනය යන්න ගියොත් වෙන්නේ ලොකු අනතුරක්. අපි එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා. වැරදි පැත්තට හරවාගෙන යනවා නම් අපේ පැත්තට වාහනය අරගෙන නිවැරදි මඟ යන්න අපි පස්සට යන්නෙත් නෑ. රජයේ සාධනීය කටයුතුවලදී අපි කුහකත්වයෙන් තොරව සම්පූර්ණ සහාය දෙනවා.

එන්න කලින් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න කියලා ඉල්ලනවා. අපි ඒවා නිතර නිතර සිහිපත් කරනවා. මේ අය කියපු කරපු දේවල් නෑ කියලා කියන්න දක්ෂයි. අසූ අට අසූ නවය කාලයේ කළ දේවල් මේ අය කළේ නෑ කියලයි කියන්නේ. ඒ වගේ දුන් පොරොන්දු අමතක කරන්න මේ අයට පුළුවන්. හැබැයි අපි ඒවාට ඉඩ දෙන්නේ නෑ. එදා බිත්තරවල මිල ඉහළ යන විට නොයෙකුත් කතා කිව්වා. අද ඒ අයට පුළුවන් වෙලා නෑ බිත්තර මිල අඩු කරන්න. කිව්වේ පට්ටපල් බොරු. ජනතාවට මේ බොරුව දැනටමත් වැටහිලා තිබෙන්නේ. ඒ නිසා මේ බොරුවලට රැවටිලා අපෙන් වෙන් වෙලා ගිය බොහෝ පිරිස් දැනටමත් අපේ පැත්තට එනවා.

කලින් පැවැති ආණ්ඩු ණය ගන්න කොට මේ අය කෑගැහුවා, රටේ ජනතාව පොඩි එකාගේ සිට ණයකාරයන් කරනවා කියලා. නමුත් මේ රජය තමයි මාසයක් යන්න කලින් වැඩිම ණය ප්‍රමාණයක් අරගෙන තිබෙන්නේ. අයි. එම්. එෆ්. යන්නේ නෑ කිව්වා. ගිවිසුම් වෙනස් කරනවා කිව්වා. නමුත් කිසිම ගිවිසුමක් වෙනස් කර නෑ. එහෙම වෙනස් කළා නම් මේ අයට ණය ලැබෙන්නේ නෑ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT