දිවයිනේ ප්‍රධාන පෙළේ එළවළු වෙළෙඳපොළක් ලෙස සැලකෙන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙහි එළවළු මිල මේ දිනයන්හි ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බැවින් ගොවි ජනතාවට මහත් පාඩු විඳීමට සිදුවී ඇති නමුත් පාරිභෝගිකයන්ට පෙර මෙන් ඉතා අධික මිලකට එළවළු ගැනීමට සිදුවීමෙන් ඔවුන් මුහුණපා ඇත්තේ මහත් අසාධාරණයකටය.
ඉකුත් අඟහරුවාදා සවස් වන විට මෙහි ඇතැම් එළවළු වර්ගයන්හි කිලෝග්‍රෑමයක මිල මට්ටම රු.100ට අඩු අගයක් ගෙන තිබුණි. මෙසේ අඩු මට්ටමක පැවතියේ ගෝවා, කැරට්, කැකිරි, රාබු, වම්බටු, නෝකෝල්, බණ්ඩක්කා සහ වට්ටක්කා යන එළවළු වර්ගයන් ය.
මීට මාස ගණනකට පෙර කැරට් කිලෝවක මිල රු.2000 ඉක්මවා ගියත් මේ වන විට කැරට් කිලෝවක තොග මිල රු.80 – රු.100 අතර වේ.
තොග මිල මෙසේ වුවත් එහි සිල්ලර මිල සියයට තුන්සීයකින් (300%) පමණ ඉහළ ගොස් ඇති බව පවසන පාරිභෝගිකයින් වෙළෙඳපොළේ වැඩි වාසි ලබන්නේ අතරමැදියා බව කියා සිටියි.