Home » චරිත් අසලංක ධනාත්මක ආකල්ප ඇති නායකයෙක්
නායකයා ඉල්ලන දේ කොදේසි විරහිතව ලබාදීම දැන් අපේ ක්‍රිකට් සංස්කෘතියයි

චරිත් අසලංක ධනාත්මක ආකල්ප ඇති නායකයෙක්

වනිඳුගෙන් සහතිකයක්

by mahesh
October 25, 2024 1:01 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක තුළ නායකයකු සතුව තිබිය යුතු හොඳම ගුණාංග ඇති බවත්, සියලු දේ පිළිබඳ ධනාත්මක ආකල්පයකින් කටයුතු කිරීම ඔහු තුළ ඇති විශේෂත්වයක් බවත් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සඳහන් කළේය.

මේ වසරේ ජූලි මාසය දක්වා වසරකට අඩු කාලයකදී ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කොට එම තනතුරෙන් හදිසියේම ඉල්ලා අස්වී දැනට චරිත් අසලංක යටතේ ක්‍රීඩකයකු ලෙස සිටින වනිඳු මේ බව පැවසුවේ පෙරේදා රාත්‍රියේ නිමාව දුටු බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි තරගය ජය ගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මේ දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබූ ශ්‍රී ලංකා පිල තවත් තරගයක් ඉතිරිව තිබියදී එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය වාර්තා කළේය. කොදෙව් පිල ලකුණු 189ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී පන්දු 34ක් ඉතිරිව තිබියදී ලකුණු 190ක් ලබා ජය කණුව පසු කළහ. නායක චරිත් අසලංක නායකත්වයේ ඉනිමක් ගොඩනඟමින් පන්දු 61ක් තුළදී හයේ පහරක් හා හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 62කින් තම 14 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කළේය.

දඟ පන්දුව ඉදිරියේ අසරණ වූ කොදෙව් පිතිකරුවන් 4ක් දවා ගැනීමට වනිඳු හසරංග සමත්වූ අතර, පළමු තරගයට ක්‍රීඩා කළ ජෙෆ්රි වැන්ඩර්සේ වෙනුවට කණ්ඩායමට එක්වූ මහිෂ් තීක්ෂණ හා වේග පන්දු යැවූ අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් බිඳ හෙළා ගත්හ.

“චරිත් 13න් පහළ ඉඳලා මගේ නායකයා. මම දන්නවා එයාට කරන්න පුළුවන් දේ. මම 19න් පහළ කණ්ඩායමෙ ඉන්න කොට ඔහු නායකයා ලෙස කටයුතු කළා. ඔහු හොඳ නායකයෙක්. පාසල් ක්‍රිකට් ඉවර වෙනකල් ඔහු නායකයා. මම දන්නවා ඔහු ගන්න තීරණ පිළිබඳ. ඔහු ගොඩක් පොසිටිව්. නායකයෙක් තුළ තියෙන්න අවශ්‍ය සියලු ගුණාංග ඔහු ළඟ තියෙනවා. අපි දැන් කණ්ඩායම තුළ හදාගෙන ඉන්න සංස්කෘතිය නායකයා ඉල්ලන දේ කොදේසි විරහිතව ක්‍රීඩකයන් ලෙස ලබාදීමයි. එතකොට තමයි කණ්ඩායමක් ලෙස ඉදිරියට යන්න පුළුවන්” වනිඳ පැවසීය.

“අපි අපේ ශක්තිය අනුව ක්‍රීඩා කළා. ඒ වගේම ඔවුන්ගේ අඩුපාඩුකම් හඳුනගෙන ක්‍රීඩා කළා. අපි දැනගෙන හිටියා කොදෙව්වන් සතුව වේගවත් පහරවල් එල්ල කරන්න පුළුවන් පිතිකරුවන් ඉන්න බව. අපේ දක්ෂ දඟ පන්දු යවන්නන් සමඟ ලබාගත් හොඳ ජයග්‍රහණයක් මේ. අපි කතා කර ගත්තේ ලකුණු අඩුවෙන් දී පන්දු යවන්නයි. ලොකු ලකුණු ගණනකට යන්න නොදී අඩු ලකුණු ගණනකට තියා ගන්න. ඒත් ඔවුන් හොඳ සම්බන්ධතාවක් ගොඩනැඟුවා. හොඳින් පන්දු යවන ගමන් තරග ජයග්‍රහණය කරන්න පුළුවන්වීම ගැන පෞද්ගලිකව සතුටු වෙනවා. වයිට්බෝල් ක්‍රිකට් තරග ගොඩක් තියෙන නිසා ශාරීරික යෝග්‍යතාව හොඳින් තියාගත යුතුයි. අපිට ලැබෙන විවේකයේදී කළ යුතු දේ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. මගේ ආබාධය 6 වතාවක් ඇති වුණා. ඒක යළි නොවෙන්න අවශ්‍ය දේ කරමින් ඉන්නවා” හසරංග සඳහන් කළේය.

“උඩ පන්දු ඕනෑම කෙනෙක් අතින් ගිලිහෙන්න පුළුවන්. නමුත් ඒක දිගින් දිගටම වෙනවා නම් ඒ වැරදි හදාගත යුතුයි. අපි වෙනත් අත්වැරදීම් කළේ නෑ. කණ්ඩායමේ සංයුතුය අනුව මගේ පිතිකරණ ස්ථානය වෙනස් වෙනවා. නිතරම මම වගේම දුනිත් බලන්නේ තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් විදිහට පන්දු යවන්නයි. පන්දුවට පහරදෙන ස්ථානය වැදගත් නෑ. රට වෙනුවෙන් හොඳින් තරගය ඉවර කරන්නයි බලන්නේ. කණ්ඩායමක් ලෙස තරගාවලිය ජය ගැනීම හොඳයි. ඉන්දියාව සමඟත් මේ වගේම කළා. තව අවුරුදු දෙක තුනකින් ලෝක කුසලාන දෙකක් එනවා. ඒ නිසා මේ ජයග්‍රහණ ඉදිරි තරගවලට වැදගත් වෙනවා” හසරංග පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT