වරාය අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව ගොනුකර ඇති අල්ලස් නඩුවේ අධිචෝදනා පත්‍රය සංශෝධනය කර ඉදිරිපත් නොකරන්නේ නම් විත්තිකරුවන් නිදහස් කරන බවට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අල්ලස් හෝ දූෂණ කොමිසමට ඊයේ (25දා) දැනුම් දුන්නේය.
විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම ගොනුකළ අධිචෝදනා පත්‍රයේ ඇතැම් කරුණු සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙස පෙර නඩු වාරයකදී මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දී තිබුණි. ඒ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනිට තරයේ අවවාද කළ අධිකරණය මෙම නියමය කළේය.
ඉදිරි නඩු දිනයේදී සංශෝධිත අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් නොකළ හොත් මෙම නඩුව තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි නඩුවක් ලෙස සලකා විත්තිකරුවන් නිදහස් කිරීමට පියවර ගන්නා බව මහාධිකරණ විනිසුරුවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.
වරාය අධිකාරියේ හිටපු සභාපතිවරුන් දෙදෙනකු වන ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම සහ කපිතාන් නිහාල් කැප්පෙටිපොළ ඇතුළු තිදෙනකුට එරෙහිව පනවා ඇති අල්ලස් නඩුව විභාගයට ගත් අවස්ථාවේ විනිසුරුවරයා මෙම දැනුම්දීම කළේය.
2014 වසරේ සැප්තැම්බර් 30 දා සිට 2015 වසරේ ජනවාරි 07 දා දක්වා කාලය තුළ වරාය අධිකාරියේ නිලධාරීන් ලෙස කටයුතු කරමින් ආයතනයට හිතාමතාම අයුතු පාඩු කිරීම ඇතුළු චෝදනා 10ක් යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා ඇත.
2015 ජනාධිපතිවරණය අවස්ථාවේ වරාය අධිකාරියේ සේවකයන් 319 දෙනකු නිල රාජකාරිවලින් බැහැරව තම ජනාධිපතිවරණයට තරග කළ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රචාරක කටයුතුවල යොදවා ඔවුන්ට වැටුප් හා අතිකාල දීමනා ලෙස හය කෝටි පනස් ලක්ෂ අටදහස් එකසිය තුනක් ගෙවීම මඟින් අධිකාරියට පාඩු සිදු කිරීමේ වරදට නඩු පැවරීම සිදු කර තිබේ.
දණ්ඩ නීති සංග්‍රහයේ 113(ආ) සහ 102 යන වගන්ති යටතේ සහ අල්ලස් හෝ දූෂණ පනතේ 1994 අංක 20, 2018 අංක 22 දරන පනත් යටතේ මෙම නඩු පැවරීම සිදුකර ඇත. සාක්ෂිකරුවන් 90ක් හා නඩු 17ක් පැමිණිල්ල විසින් ගොනුකර ඇත. විත්තිකරුවන්ට ලක්ෂ 75ක ශරීර ඇප දෙකක් මත ඇප හිමිව තිබේ. නොවැම්බර් 8 දා නඩුව යළි කැඳවීමට නියමිතය.