Tuesday, May 13, 2025
Home » නෑඹිලියෙන් ජනතාව ගරන ලද කාලයට නිමාව

නෑඹිලියෙන් ජනතාව ගරන ලද කාලයට නිමාව

by sachintha
October 28, 2024 1:00 am 0 comment

ආරුගම්බොක්ක නාමය වෙනුවට දැන් තිරයට පැමිණ ඇත්තේ ඇල්පිටියය.

මහමැතිවරණය අද්දර තබාගෙන, පැවති ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය වූ කලී ලිට්මස් පරික්ෂාවක් බව කිව හැක්කේය. එම ප්‍රතිඵල සම්බන්ධයෙන් වූ විශ්ලේෂණයක් සඳහා මේ තීරුව යොමු නොවන්නේය. දැන් අප හමුවේ ඇති ප්‍රශ්නය සංකීර්ණ බැවින් ඒ සඳහා වෙහෙස දැරිය යුතුය. මැතිවරණ ප්‍රතිඵලය කුමක් වේදැයි විශ්ලේෂණය කර මහන්සි ගතයුතු නැත. මේ රටේ දේශපාලනයේ සිටි චරිත ගණනාවක් අපේක්ෂකත්වය පවා පසෙක ලා නිවෙසට වී සිටින්නේ, ප්‍රතිඵලය පිළිබඳව සංඥාව කල්තියා දැක ඇත්තේ බැවිනි.

එතැනින් එහා මහන්සි විය යුතු කාරණා ගණනාවක් මේ රට හමුවේ ඇත. ඉන් ප්‍රධාන කාරණයක් වන්නේ කන බත්පතේ ප්‍රශ්නයය. අප හාල් කිලෝවක් මිලදී ගෙන එදා වේල සරිකර ගන්නා විට, තවත් පාර්ශ්ව ගණනාවක් ගසාකෑමෙන් ඒ සඳහා හවුල් වන්නේය.

ආහාර උද්ධමනයෙන් ලෝකයේ පීඩාවට පත්ව සිටින රටවල් ලැයිස්තුවේ අප සිටියේ 2022 වසරේ සිටය. මෙම අතීත තත්ත්වයේ බරපතළභාවය පළමුව අවධාරණය කරනුයේ, ඊළඟ පියවර සඳහා එය දැන ගැනීම අත්‍යවශ්‍ය හෙයිනි. ‘උත්සන්න වෙමින් පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයන්ට පෝෂ්‍යදායී ආහාර ප්‍රමාණවත් ලෙස සපයා ගැනීමට ඇති හැකියාව තර්ජනයට ලක්ව ඇත.’ යන්න ලෝක ආහාර වැඩසටහන එම සමයේදී අනතුරු අඟවා තිබුණේය.

2022 සැප්තැම්බර් මාසයේ නිකුත් කරන ලද මෙම වාර්තාව මඟින් දක්වා ඇති වඩාත් බරපතළ තත්ත්වය වන්නේ, බාහිර සහයක් නොලැබුණහොත් 2022 වසරේ ඔක්තෝබර් සිට 2023 වසරේ පෙබරවාරි දක්වා කාලය තුළ තත්ත්වය තවත් දරුණු වනු ඇති බවය. වාර්තාව නිකුත් කරන ලද වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 93.7%ක් විය. සැප්තැම්බර් මාසයේ එම අගය 94.9%ක් දක්වා ඉහළ ගියේය. එතෙක් ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය ළඟා කර ගත් ඉහළම ඉලක්කම එයය. මේ සමයේ ශ්‍රී ලංකාවේ ලක්ෂ 63ක ජනතාවක් මධ්‍යස්ථ මට්ටමේ සිට උග්‍ර මට්ටමේ ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණදීමට පටන් ගත්තේය.

තත්ත්වය මේ වනවිට යම් පමණක සුබදායී තලයකට පැමිණ ඇත්තේය. 2024 ආරම්භය වන විට, ආහාර උද්ධමනය ශීඝ්‍රයෙන් අඩුවී ගියේය. ආහාර උද්ධමනය උපරිම අගය වාර්තා කර වසර දෙකකට පසු, සම්පූර්ණ පාරිභෝගික මිල දර්ශකයේ 13% ක අඩුවීමක් පෙන්නුම් කළේය.

මේ ආකාරයට සංඛ්‍යාලේඛන බහුලව භාවිත කරනවාට හුදීජනයා කැමැත්තක් දක්වන්නේ නැත. එය ලාංකේය සමාජයේ එක් හැඩතලයකි. ඕපාදූප මට්ටමෙන් මොනවා හෝ ගොතා කිවහොත් ඒවා අසා සිටීමට සහ එහි ප්‍රචාරක යන්ත්‍රණය බවට පත්වීමට බහුතරය කැමැත්තේය. එවන් හරසුන් දේ සඳහා දක්වන උනන්දුව සංඛ්‍යාලේඛන සහිතව සහ විශ්ලේෂණාත්මක ආකාරයෙන් සිදු කරන කල්හි එය මඟහැර යන්නේය.

අප දැන් සිටින්නේ සකල මාෆියා බිඳ දැමීම සඳහා අවශ්‍ය දේශපාලන පසුබිමක් සහිතවය. වසර හැට හැත්තෑවක් තිස්සේ ලොකු මහත්වූ සහ ධනය, බලය ආදී සෑම කාරණයකින්ම පොහොසත්වූ මාෆියාවක් එකවර බිඳහෙළිය නොහැකි වුවත්, බලයට පත්වූ ආණ්ඩුව ඒවායෙන් සම්මාදම ලබන සහ අනුග්‍රහය ලබාදෙන ස්ථාවරයක නැත්තේ හෙයින්, මේ ආකාරයේ මාෆියා සෑහෙන ප්‍රමාණයකට තව ටික දිනකින් තට්ටුවෙනවා ඇත.

වැට් වංචා කරමින් ජනතා මුදල් සිය සාක්කුවේ දමාගෙන සිටි කල්ලියේ එකා දෙන්නා දැන් ඇතුළට යන්නේය. ඉතිරි පිරිස දෙලෝ රත්වී, බද්ද ගෙවීම සඳහා ඉඩකඩම් පවා විකුණා දමන්නෝය. ඕවා සුබ නිමිතිය.

මේ ආකාරයට රටේ ආහාර අහේනිය සඳහා හේතු වූ මාෆියාව ද කුඹුරේ බැත පාගා හුළං කරන විට, බොල් වී අහකට යන්නා සේ, පැත්තකට කර දැමිය යුත්තේය.

බත්පත සඳහා වූ සාධාරණ මිල, ගොවියා සහ පාරිභෝගිකයා විෂයයෙහි මිස අතරමැදියා සඳහා නොවන්නකි. මෙතෙක් කලක් සිදුවූ ඒ අහේනිය සඳහා තිත තැබීමේ පළමු පියවර රජය පාර්ශ්වයෙන් දැන් ආරම්භ කර තිබේ.

සහල් මෝල් හිමියන්ගේ බලපරාක්‍රමය කෙසේද යත් ඒ සියල්ල මඟින්, ආණ්ඩු පාලනය කරන ලද ආකාරය මේ රටේ ජනයා අත්දැක්කේය. කෘෂිකර්ම ඇමැතිවරයා සිදු කරන ලද්දේ කොන්දොස්තර භූමිකාවය. රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික්‌ ටොන් මිලියන 3.5 ක් පමණ වන්නේය. ඒ සඳහා ජනතාවට අඩු මිලක් සහ ගොවියාට දැනෙන මිලක් නියම කිරීම සඳහා ඇමැතිට ශක්‍යතාවක් තිබුණේ නැත.

“අරහේ තොග තිබෙනවා, මෙහේ සහල් හංගාගෙන ඉන්නවා” වැනි ආරංචි කියමින් සිට, අවසානයේදී රටෙන් සහල් ගෙන්වීම සඳහා ක්‍රියා කිරීමේ පහසු යන්ත්‍රණයේ ආණ්ඩු සැමදා සිටියේය.

ඒ තරමට ආණ්ඩු ළදබොළඳ වූයේ මෝල් හිමියන්ගේ හයිය නිසාය. පෙරේදා වන විට සුළු සහ මධ්‍යම පරිමාණ සහල් මෝල් සඳහා සිය පරිමාව වැඩි කර ගැනීමට සහාය ලබාදෙන බවට ආණ්ඩුව පොරොන්දු විය. සහල් වෙළෙඳපොළ සමතුලිත කර මහා පරිමාණ බලය දිය කිරීම එහි අරමුණය.

අනික් කාර්යය වනුයේ වී තොග සමීක්ෂණය කිරීමය. මෙරට ගබඩා කර ඇති සියලු වී තොග පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කරන ලද්දේ ඒ සඳහාය. බහුල ලෙස වී ගබඩා ඇති පොලොන්නරුව, අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්කවල වී ගබඩා මේ යටතේ විශේෂ පරික්ෂාවට ලක් කරනු ඇත්තේය.

වී අලෙවි මණ්ඩලය මැදිහත්ව වී මෙට්‍රික් ටොන් ලක්ෂ 04ක ආරක්ෂිත තොගයක් පවත්වාගෙනයෑමේ සැලසුමට අමතරව රටේ සහල් තොග පිළිබඳව ආණ්ඩුව අතේ දත්ත තිබේ නම් හංගා මිල වැඩි කිරීම, හිඟයක් මවා තබා ආණ්ඩු පෙරළීම වැනි වෙ‍ෙළඳාමට එහා ගිය කාරණා සඳහා මෝල්හිමියන්ට ලැබෙන්නේ නැත. මේ සියල්ල සඳහා ආණ්ඩුව කටයුතු යොදා ඇත්තේ බැවින්, දන්නා කියන තොරතුරු ලබාදී ජනතා සහාය ද එයට ගොනු කරන ලෙස මේ තීරුව ජනයාගෙන් ඉල්ලා සිටින්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT