මෙතෙක් කලක් පොලිසිය කටයුතු කරනු ලැබුවේ දේශපාලනඥයන් සතුටු කිරීමට බැවින් මින් ඉදිරියට පොලිසිය පොලිසියට පැවරී ඇති රාජකාරි ඉටුකරමින් ජනතාව සතුටුවිය හැකි ආකාරයට සේවය කළ යුතු බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් ඉහළ සියලුම තරාතිරම්වල නිලධාරීන්ට අවධාරණය කර තිබේ. පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් ඉහළ සෑම තරාතිරමකම පොලිස් නිලධාරීන් සූම් තාක්ෂණය ඔස්සේ 26දා සම්බන්ධකර ගනිමින් වැඩබලන පොලිස්පතිවරයා විසින් මේ බව සඳහන්කර ඇත.
උදෑසන කාලයේ පැය එකහාමාරක පමණ කාලයක් පුරාවට පැවැති සූම් තාක්ෂණය ඔස්සේ ඉහළ නිලධාරීන් ඇමතූ වැඩ බලන පොලිස්පතිවරයා ඒ කාලය පුරාව පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ පොලිස් රාජකාරිය ඉටුකිරීම සම්බන්ධයෙනි. ප්‍රජා පොලිස් යැයි කියමින් බොරු වැඩ නොකරන ලෙසත් ප්‍රජා පොලිස් නාමයෙන් කරනු ලබන අනවශ්‍ය වැඩ නවතන ලෙසත් උදාහරණ පෙන්වා දෙමින් වැඩ බලන පොලිස්පතිවරයා පෙන්වා දී තිබේ.
දේශපාලනඥයන්ගේ ලිපියට පොලිස් ස්ථානාධිපතිවරු පත්කර ඇති බව පූර්වගාමී පොලිස්පතිවරයෙක් පවසා ඇති බව මෙහි දී පෙන්වා දී ඇති වැඩබලන පොලිස්පතිවරයා දැන් එවැනි ලියුම්වලට ස්ථානාධිපතිවරු පත් නොකරන බවත් දේශපාලනඥයන්ට සේවය කරනවා වෙනුවට ජනතාවට සේවය කරන්න බැරි පොලිස් ස්ථානාධිපතිවරයෙක් සිටින්නේ නම් තමාට පොලිස් ස්ථානාධිපතිධුරයේ සිටිය නොහැකි බව තමාට ලිඛිතව දැනුම් දෙන ලෙසද වැඩ බලන පොලිස්පතිවරයා අවධාරණය කර තිබේ. මහජනතාව වෙනුවෙන් වැඩ කළ නොහැකි පොලිස්පතිවරුන්ට වැඩ කළ නොහැකි නම් ඒ වෙනුවට තමාට වැඩ කළ හැකි නිලධාරීන් පත්කිරීමට හැකි බව ද වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දී ඇත.
පොලිසිය කළ යුතු වන්නේ පොලිස් රාජකාරි බව තදින්ම පෙන්වා දී ඇති පොලිස්පතිවරයා පොලිස් රජකාරිවලින් බැහැර වෙනත් කටයුතු කිරීමට ගොස් පසුගිය කාලයේ පොලිසිවලට ලැබුණු විවිධ පැමිණිලි ලක්ෂ ගාණක් විභාග නොකර තිබී ඇති බව ද මෙහි දී පෙන්වා දී තිබේ.
පොලිසිවලට ලැබෙන සුළු පැමිණිල්ලක් පවා ඉක්මනින්ම විසඳීමෙන් ලොකු අපරාධයක් සිදුවීම වැළැක්වෙන බව මෙන්ම පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය දිනා ගැනීමට පවා එය ඉවහල් වන බව පෙන්වා දී ඇත.
දූෂිත පොලිස් නිලධාරීන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන් හසු වුවහොත් මුලින්ම කළ යුතු වන්නේ ඔවුන්ව ඉවත්කර විනය පරීක්ෂණ පැවැත්වීම බව ද පොලිස්පතිවරයා අවධාරණය කර තිබේ.
මෙතෙක් කලක් පොලිසිය තුළ සිදුව ඇත්තේ මුලින් විනය පරීක්ෂණ පවත්වා පසුව වැඩ තහනම් කිරීමේ ක්‍රියාපිළිවෙතක් බවත් විනය පරීක්ෂණය පැවැත්වෙන කාලය තුළ පවා එකී නිලධාරියාගෙන් පොලිසිය දූෂණය වන බව ද වැඩ බලන පොලිස්පතිවරයා පෙන්වා දී තිබේ.
පොලිස් ස්ථානාධිපතිවරු බොහෝ දෙනෙක් ඒ.සී. කාමර සකස්කරගෙන එහි රැඳී සිටියත් එම කාමරයෙන් පිටතට ගොස් පොලිස් ස්ථානයේ සෙසු නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවත් උදෑසන 7.00 වන විට පොලිස් ස්ථානාධිපතිවරයා සිටිය යුත්තේ මහ පාරේ බවත් පොලිස්පතිවරයා සඳහන් කර ඇත.
ඇතැම් ඉහළ නිලධාරීන් නිසි කලට නිලධාරීන්ට ත්‍යාග ලබා නොදී සිටින බවට තොරතුරු ඇති බව ද පවසා ඇති වැඩබලන පොලිස්පතිවරයා ඉදිරියට එසේ නොවිය යුතු බවත් තමා ඒ සම්බන්ධයෙන් පුද්ගලිකවම සොයා බලන බව ද සඳහන්කර තිබේ. එසේම පොලිස් නිලධාරියෙක් නිවාඩු ලබා ගැනීමට අවසර ගැනීමට පැමිණෙන විට එම නිලධාරියා නිකරුණේ පැය ගණන් රස්තියාදු කිරීම හෝ නිවාඩු ලබා නො දී නිලධාරියාව මැඩවීම ඉදිරියේ දී සිදු නොවිය යුතු බවත් එවැනි උසස් නිලධාරීන් සම්බන්ධයෙන් තමා දැඩි පියවර ගන්නා බවත් වැඩ බලන පොලිස්පතිවරයා මෙම සූම් රැස්වීමේ දී අවධාරණය කර ඇත.
ගයාන් කුමාර වීරසිංහ