Wednesday, May 14, 2025
Home » මුලටියන තෙලඹුගහමුල සිට වඩුගවත්ත-කළුවලාකැටිය පාර ලෙල්ලටම අබලන් වෙලා
පවුල් 300ක ජනතාව පීඩාවට

මුලටියන තෙලඹුගහමුල සිට වඩුගවත්ත-කළුවලාකැටිය පාර ලෙල්ලටම අබලන් වෙලා

by sachintha
October 28, 2024 1:01 am 0 comment

මාතර දිස්ත්‍රික්කයේ මුලටියන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි පල්ලාවෙල, තෙලඹුගහමුල සිට වඩුගවත්ත හරහා කළුවලාකැටිය මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

එම මාර්ගය අබලන්වීම හේතුවෙන් ඉහළමුල්ල, බටලන්ද, කළුවලාකැටිය, වැරෑව, වඩුගවත්ත, පිටවල්ගමුව ආදී ගම්මාන රැසක පවුල් 300කට අධික ප්‍රමාණයක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. වසර ගණනාවකින් මාර්ගයේ නඩත්තු කටයුතු සිදුනොවීම නිසා මෙම මාර්ගය මෙලෙස අබලන්වීමට බලපා තිබෙන ප්‍රධාන හේතුවක් විය හැකි බවද එම ජනතාව පෙන්වා දෙති.

මෙම ගම්මානවල ජීවත් වන බොහෝ දෙනකුගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වී තිබෙන්නේ කෘෂිකර්මාන්තයයි. ඒ අතුරින් තේ සහ කුරුඳු යන වගාවන් වැඩි වශයෙන් කරගෙන යනු ලබන අතර, ඊට අමතරව වී වගා කටයුතුද සිදුකරගෙන යනු ලබයි. මේ වන විට මාර්ගයේ විශාල වළවල් හෑරී තිබීම නිසා වැසි දිනවල දී ජලය පිරී පැවැතීම හේතුවෙන් පයින්වත් ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බවද එම ජනතාව වැඩිදුරටත් කියා සිටිති.

මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කර අබලන් තත්වයේ පවතින මෙම මාර්ගය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ඔවුහු වගකිවයුතු අයගෙන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පල්ලාවෙල නව ගොවි සංවිධානයේ ලේකම් නන්දසිරි රූබසිංහ මහතා මෙසේ පැවැසීය.

අපේ ගමට යන පාර අබලන් වෙලා දැනට වසර 30කට වඩා වැඩියි. ගම්මාන රැසකට යන්න තිබෙන මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්න වගකිවයුතු කිසිම ආයතනයක් හෝ දේශපාලනඥයෝ අවශ්‍ය පියවර ගත්තේ නැහැ. මේ ගම්වල ජීවත්වන ජනතාවගේ ප්‍රධාන රැකියාව වෙලා තිබෙන්නේ ගොවිතැන් කටයුතු. ගමේ දරුවෝ මේ මාර්ගය භාවිත කරමින් තමයි ප්‍රධාන පෙළේ පාසල්වලට යන්නෙ. පාසල් බස් රථයකින් හා පාසල් වෑන් රථවලින් මේ ගම්වල සිට නගරයේ පාසල්වලට දරුවෝ රැගෙන ගියා. නමුත් මාර්ගය අබලන් නිසා දැන් කිසිදු වාහනයක් ගමන් කරන්නේ නැහැ. දරුවෝ පාසල්වලට යන්නෙ පා ගමනින්.

මේ මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කරන්න මුල්ගල් තියලා නාමපුවරු විවෘත කළත් තවමත් මාර්ගයේ සංවර්ධන කටයුතු නම් සිදු වුණේ නැහැ. මේ මාර්ගය හදලා දෙනවා කියලා දේශපාලනඥයෝ හැමදාම කළේ ඡන්දය අරගෙන යන එක විතරයි. මැතිවරණයෙන් පසුව ඒ අය ඇහින් දකින්නවත් හම්බවෙන්නේ නැහැ. අපි බලධාරීන්ට කියන්නේ කඩිනමින් අපේ පාර හදලා දෙන්න කියලා.

ටී.බී.සනත් කුමාර මහතා

මා රැකියාව වශයෙන් කුරුඳු ආශ්‍රිත කර්මාන්තයේ තමයි නිරත වෙන්නෙ. ප්‍රධාන පාරේ ඉඳලා අපේ ගමට යන පාර දැඩි ලෙස අබලන් වෙලා තියෙන්නේ. කුරුඳු ගෙනියන්න ට්‍රැක්ටරයක්වත් එන්න විදිහක් නැහැ. පාරේ විශාල වළවල් හෑරිලා ති‍ෙයන නිසා වැසි වතුර පිරිලා තියෙන්නේ. පාර හදල දෙන්න කියලා බලධාරීන්ට කොතෙක් කීවත් පළක් වුණේ නැහැ. බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මාර්ගයේ පිළිසකර කටයුතු සිදු කර දෙන්න කියලා.

විශ්‍රාමික ගුරුවරියක් වූ එම්.මාලනී මහත්මිය මෙලෙස අදහස් දැක්වීය.

මම මේ ගමට ඇවිල්ලා වසර 32කටත් වඩා වැඩියි. ඒ අවස්ථාවෙත් මේ පාර මේ ආකාරයටම අබලන් වෙලා තමයි තිබුණේ. අදටත් මේ මාර්ගයේ තත්ත්වය ඒ ආකාරයටමයි තියෙන්නේ. ඡන්ද කාලයට දේශපාලනඥයෝ පාර හදනවා කියලා කෑගහලා කියනවා. හැබැයි ඒවා පොරොන්දුවලට පමණක් සීමා වෙලා තිබෙන බව මා කියනවා. පාර හදනවා කියලා අවස්ථා ගණනාවකදී මුල්ගල් තියලා තියෙනවා. නමුත් ඒ මුල්ගල් කැලේට යටවෙලා. නාමපුවරු විනාශ වෙලා තියෙන්නේ. අපේ දරු පැටවු උදේට පාසලට යන ආකාරය දැක්කම හරිම දුකයි. දරුවෝ සපත්තු ගලවාගෙන ප්‍රධාන පාරට ඇවිල්ලා ඇළෙන් මඩ සෝදාගෙන, රෙදි කැබැල්ලකින් පිහදාගෙන සපත්තු පැලඳගෙන තමයි පාසලට යන්නේ. ඇත්තටම මේ දුක කාට කියන්නද කියලා අපට තේරෙන්නේ නැහැ. මේ මාර්ගය වැඩිදියුණු කරන්න කිසිම රජයකින්වත් ස්ථිරසාර විසඳුමක් මෙතෙක් ලබා දීලා නැහැ. අප බලාපොරොත්තු වෙනවා වත්මන් රජයෙන්වත් අපේ පාර හදලා දෙන්න අවශ්‍ය පියවර ගනීවිය කියලා.

 

දෙයියන්දර සමූහ – තමරසිරි විජේසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT