1930 ගණන් වනවිට ජනතාවගේ දේශපාලන උනන්දුව පැතිකඩ දෙකක් ඔස්සේ වර්ධනය වනු දක්නට ලැබිණි. එක් පැතිකඩක් වන්නේ අධිරාජ්‍යවාදයෙන් මිදී නිදහස් රාජ්‍යයක් බවට පත්වීමය. අනෙක් පැතිකඩ වන්නේ පුරවැසියාගේ ඡන්ද බලය තහවුරු කරමින් තම අභිමතයට ගැළපෙන ආකාරයේ ආණ්ඩු පත්කර ගැනීමය. නැතහොත් මහජන නියෝජිතයන් පත්කර ගැනීමය. මීට සමාන ලෙසින් අසල්වැසි රාජ්‍යවලද දේශපාලන වෙනස්කම් ඇතිවෙමින් තිබිණි. මන්ත්‍රණ සභාව සඳහා 1936 දී පැවැත් වූ මැතිවරණය නිරීක්ෂණය කළහොත් විශේෂතා හතරක් හඳුනාගත හැකිය.
I මහජන නියෝජිතයන් පත්කර ගැනීමේ තරගය උණුසුම්වීම
II ඡන්දය සඳහා මහජනයාගේ උනන්දුව උපරිම මට්ටමකට පැමිණීම
III පළමු වරට දේශපාලනය සම්බන්ධයෙන් කාන්තා පාර්ශ්වයේ ප්‍රතිචාරය ඉහළ තැනක පැවතීම
IV මැතිවරණය මූලික කොට ප්‍රචණ්ඩකාරි තත්ත්වයක් මතුවීම
මහජනයාට ප්රජාතන්ත්රවාදී අයිතිය ලැබීම, ජනතා ජයග්‍රහණයක් සේ සැලකිය හැකිය. ජනතා අභිමතය පරිදි ඔවුනට ගැළපෙන හා ඔරොත්තු දෙන

මැලේරියා උණ වසංගතය
රාජ්‍ය පාලනයක් බිහිකර ගැනීමේ අයිතිය හා අවස්ථාව ලබා ගැනීම ජයග්‍රහණයකි. ඒ සඳහා ලෝක ප්‍රජාවගේ පෙළ ගැස්මක් හා සංවිධානගත වීමක් පැවැති බව ඉතිහාසය හදාරන විට පැහැදිලි වෙයි. එංගලන්තයේ එදා පැවැති නායකත්වයේ අදහසට අනුව ශ්‍රී ලංකාවට එම අවස්ථාව කලින්ම උදාවිය. ප්රජාතන්ත්රවාදය, ඡන්ද අයිතිය හා පාර්ලිමේන්තු ක්‍රමය ගැන ශාස්ත්‍රඥයන් දක්වන අදහස්වලට අනුව ආසියාවේ පැරැණිම පාර්ලිමේන්තු ක්‍රමය ඇත්තේ ඉන්දියාවට හා ශ්‍රී ලංකාවටය. එයින් ද වඩාත් පැරණි පාර්ලිමේන්තු සම්ප්රදාය ශ්‍රී ලංකාවට අයත්ය.
ශ්‍රී ලංකාවේ පොදු ජනයා අතර ඡන්ද උනන්දුව මතු වූයේ 1931 ඡන්ද අයිතිය ලැබීමත් සමඟය. 31 මැතිවරණයෙන් පසු ඡන්ද අයිතිය හා මහජන නියෝජිතයන් පත් කිරීම පිළිබඳ තරගයක් සමාජය තුළ වර්ධනය විය. එදා පුවත්පත් වාර්තාවලට අනුව 1936 වනවිට එය උපරිම මට්ටමකට නැඟ තිබිණි. තම නියෝජිතයන් සඳහා උත්සව පැවැත්වීමටද පෙරහර පැවැත්වීමට ද ජනතාව ඉදිරිපත් වූහ. ඇතැම් ස්ථානවල තරගය කෙළවර වී ඇත්තේ කලබලවලින්ය. ගැටුම්වලින්ය. ඒවා කොතරම් උත්සන්න තත්ත්වයකට පත්ව තිබුණේ ද යත් වෙඩි තැබීම්, සියදිවි නසාගැනීම්, ඝාතන පළමුවරට වාර්තා විය. මැතිවරණය අතරතුර වාර්තා වූ බරපතළම සිද්ධිය මාතලේ දී සිදු විය. මාතලේ ජයග්‍රාහී අපේක්ෂකයකු වූ අළුවිහාරේ මහතා විරුද්ධවාදියකුගේ වෙඩි ප්‍රහාරයට ලක්වී රෝහල්ගත කළ අතර ඔහුගේ වයස්ගත පියා කම්පනයෙන් මිය ගියේය. සිද්ධිය හේතුකොටගෙන අටදෙනෙකු මියගිය බව පසුව වාර්තා වී තිබිණි. තුවාල ලැබූ පිරිස පහළොවත් විස්සත් අතර වූහ. එතෙක් මැතිවරණයකදී සිදුවූ බරපතළම ප්‍රචණ්ඩ ක්‍රියාව ලෙස එය වාර්තාගත විය.
සීදුවේ ඇති වූ කලබලයකදී කෙනෙකුගේ හිසට කඩු පහර දී තිබිණි. ඔහු රෝහලේදී මිය ගියේය. තවත් පුද්ගලයෙක් කොම්පඤ්ඤවීදියේදී දිවි නසා ගත්තේය. ඒ ඡන්ද සිද්ධියක් මුල්කර ගනිමින්ය. කොළඹ අවටින් ප්‍රචණ්ඩ ක්‍රියා ගණනාවක් වාර්තා විය. කලබලවලදී ස්ත්‍රී පාර්ශ්වය ද ඒවාට සජීවි ලෙස සම්බන්ධ වීම මෙරට දේශපාලනයේ නව ප්‍රවණතාවක් ලෙස දැක්විය හැකිය.
පුවත්පත් වාර්තාවලට අනුව අරගල කෝලාහල ආදියට ප්‍රධාන හේතුව අපේක්ෂකයන්ගේ සහයෝගයට පැමිණ සිටි ආධාරකරුවන්ගේ උත්සවයන්ය. ආධාරකරුවෝ මත්පැන් පානය කරමින් සර්පිනා තබ්ලා වාදනය කරමින් අපේක්ෂකයන්ගේ ජයග්‍රහණ සමරන්නට ඉදිරිපත් වූහ. මේ වෙනුවෙන් ව්‍යාපාරිකයන් මුදල් වැයකර තිබේ. එය දේශපාලනයට එකතු වූ තවත් අලුත් ප්රවණතාවකි.
1930 ගණන්වලින් පසුව අපේ දේශපාලන සංස්කෘතිය සංකීර්ණ වූ බවක් දැක ගත හැකිය. එහි යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල ද දක්නට ලැබිණි. ප්‍රතිවාදී අපේක්ෂකයන් අතට අත දී ජය පැරදුම විඳගත් අතර ආධාරකරුවෝ කලබල කරන්නට පටන් ගත්හ. කොළඹ එහිලා ප්‍රධාන විය. කොළඹ ශාන්ත බස්තියමේ ගැටුම් ගණනාවක් සිදුවූ බවට වාර්තා තිබේ.
මේ වකවානුව තුළ සිදුවූ තවත් දේශපාලන වෙනස්කමක් වූයේ හිටපු මහජන නියෝජිතයන්ගේ ඥාතීන් ඡන්දයට ඉදිරිපත් වීමය. මෙහි කැපී පෙනෙන සිද්ධියක් ලෙස දැදිගම ආසනයෙන් ඩඩ්ලි සේනානායක මහතා තේරීපත්වීම පෙන්වා දිය හැකිය. කෘෂිකර්ම අමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මහතාගේ පුත්‍රයා පළමුවරට දැදිගමින් ඡන්දයට ඉදිරිපත් වූ අතර ඔහු වැඩි ඡන්දයෙන් තේරීපත්විය. පියකු හා පුතකු රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ පළමු අවස්ථාව ද එය විය.
1936 මාර්තු මාසය වන විට මන්ත්‍රණ සභාවේ අභිනව අමාත්‍ය මණ්ඩලය පත්කොට සභාවේ වැඩ කටයුතු ආරම්භ කළ අතර ඔවුන් හමුවේ අභියෝග රැසක් පැවතිණි. රටේ වී අස්වැන්න වැඩි කිරීම, මැලේරියා උණ වසංගතය මර්දනය කිරීම හා නිදහස පිළිබඳ සාකච්ඡා කිරීමත් ඒ අතර ප්‍රධාන විය.
රන්ජන් අමරරත්න