යුද හමුදාවේ හිටපු ආබාධිත සෙබළකුගේ වෙළෙඳ සලක් තුළට අයුතු ලෙස ඇතුළු වී ඔහුට පහර දී එම පහරදීම ජංගම දුරකතනයකින් වීඩියෝගත කර අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකාරියක සහ සැකකරුවන් තිදෙනකු අද (29) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා නියෝග කළේය.
මෙසේ බන්ධනාගාරගත කළේ ගල්ගමුව, වැලිහිද්දෑව පදිංචිකරුවන් වන එච්.එම්. සජානි හේරත් සහ එච්.එම්. සුසන්ත සමරනායක, ගල්ගමුව අලුත් හේරත්ගම පදිංචි කරුවන් වන එච්.එම්. රංජිත් රත්නායක සහ සුසිත ලක්මාල් අත්තනායක යන අයවලුන්ය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් ගල්ගමුව පොලිසිය සඳහන් කළේ යුද හමුදාවේ හිටපු ආබාධිත සෙබළකු වන පී.ඩී. සුසන්ත සංජීව යන අය අලුත් හේරත්ගම ප්‍රදේශයේ පවත්වාගෙන යන වෙළෙඳ සලකට මෙම සැකකරුවන් අයුතු ලෙස ඇතුළු වී ඔහුට පහරදී ඇති බවයි.
අගතියට පත් පැමිණිලිකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ රන්දුනු සේනාරත්න මහතා පැවැසුවේ සැකකරුවන් තම සේවාදායකයාගේ වෙළෙඳ සලට අයුතු ලෙස ඇතුළු වී අසත්‍ය චෝදනාවක් එල්ල කරමින් මෙම පහරදීම කළ බවය.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ හිමාල් කහදවල මහතා සමඟ නීතිඥ ඉරේෂා වන්නිනායක මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.