Home » පොහොට්ටු මන්ත්‍රීව අත්පා ගැට ගසා නිවසේදීම ඝාතනය කරයි

පොහොට්ටු මන්ත්‍රීව අත්පා ගැට ගසා නිවසේදීම ඝාතනය කරයි

by chanaka
October 29, 2024 11:03 am 0 comment

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්තීවරයෙකු වූ ක්‍රිෂාන්ත පුලස්ති මහතා ඔහුගේ නිවසේ ඇඳක් මත අත්පා ගැට ගසා ඝාතනය කර තිබියදී සොයාගෙන තිබේ.

කෑගල්ල පොලීසිය පවසන්නේ ඔහුගේ සිරුර නිදි ඇඳේදී ම අත් ගැට ගසා ගෙල සිර කර ඝාතනය කොට තිබියදී ඊයේ (28) සොයා ගත් බවයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 75ක් වූ බුළුරුප්ප, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කෑගල්ල, බුළුරුප්ප, කෙම්පිටිය වලව්වේ හිමිකරු බවද වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිඳගේ මුවෙහි ප්ලාස්ටර් අලවා නිවසේ අල්මාරි සියල්ල විවෘත කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වූ බවය.

එම කාන්තාවටද සැකකරුවන් විසින් පහරදීම හේතුවෙන් තුවාල ලබා සිටියදී පොලිසිය විසින් කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය තවදුරටත් පවසා සිටියේ යම් පිරිසක් නිවසට පැමිණ එහි බඩු මුට්ටු පෙරළා දැමීමට කටයුතු කර ඇති අතර නිවසේ පිටත තිබුණු මෝටර් රථය රැගෙන පළා ගොස් ඇති බවය.

කෙසේවෙතත්, සොරකම් කරන ලද මෝටර් රථය පින්දෙණිය පොලිස් වසමේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පහරදිමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT