මෑතකදී දේශපාලන පක්ෂ පිහිටුවාගෙන අපි තමයි මේ රටේ ප්‍රබලම විපක්ෂය කියලා කෑ ගසන අයට සජිත් ප්‍රේමදාස මහතා අහලකටවත් ළංවීමට නොහැකි බව සමගි ජන සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ජයරත්න හේරත් මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“පසුගිය ජනාධිපතිවරණයේදී බොහෝ දේශපාලන පක්ෂ සුනු විසුනු වෙලාම ගියා. ඩී. එස්. සේනානායක මහතා බිහිකළ මේ රටේ උදාරම දේශපාලන පක්ෂය බව කියූ එක්සත් ජාතික පක්ෂය මේ වෙන කොට රනිල් වික්‍රමසිංහ මහතා සම්පූර්ණයෙන්ම විනාශ කර අවසන්. අන්තිමට එයා පාර්ලිමේන්තුවට ආවෙත් බොහෝම අමාරුවෙන්. මහින්ද රාජපක්ෂවාදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සීයට අනූ පහක්ම උදව් කරලත් ඒ මහතාට බැරි වුණා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න. අන්තිමට ලක්ෂ විසි දෙකක ප්‍රතිඵලයකින් එයාගේ දේශපාලන ගමන අවසාන කරන්න සිද්ධ වුණා.
ඊළඟට මේ රට වැඩිම කාලයක් පාලනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද වෙනකොට කුඩුපට්ටම් වෙලා. මේ දැවැන්ත පක්ෂයේ අයිතිකාරයා කවුද කියලා හොයා ගන්න අද වෙනකොට අධිකරණ රැසක විනිශ්චයකට භාජන වෙමින් තිබෙනවා. එහෙම බැලුවාම අද මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකුත් නෑ.
මේ රටේ බහුතරයක් ජනතාව පිළිගන්නවා, දැනට ජීවමානව තියෙන ප්‍රධානම දේශපාලන පක්ෂ දෙකෙන් එකක් තමයි සමගි ජන බලවේගය කියලා. මේ රටේ අද තියෙන සමහර දේශපාලන පක්ෂවල නායකයන් මාධ්‍ය ආයතනවල හිමිකාරයන්. ඒ වගේ අයට ඡන්ද ප්‍රචාරණයට අවශ්‍ය ගුවන් කාලයේ ප්‍රශ්නයක් නෑ. ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ ප්‍රවෘත්ති ඉතාම කඩිනමින් මුදාහැරීමේ පහසුකමක් තියෙනවා.”